කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය මාස 5කට පසු අමල් කරුණාසේකරට ඇප

  👤  3171 readers have read this article !
By mawbima 2018-09-11

කුමුදු උපුල් ශාන්ත

'නේෂන්'  පුවත්පතේ මාධ්‍යවේදී කීත් නොයාර්ට අමානුෂික ලෙස පහරදී කෘෘර ලෙස වධ හිංසා කිරීමට ආධාර අනුබල දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මාස පහකට අධික කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ලක්ෂ සියය බැගින් රුපියල් ලක්ෂ තුන් සියයක ශරීර ඇප මත මුදා හරින ලෙස ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ඊයේ (10දා) නියෝග කළාය.

සැකකරුට සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද නියම කෙරුණු අතර සැකකරුගේ විදෙස් ගමන්ද තහනම් කරන ලෙසට අධිකරණයෙන් නියෝග කෙරිණි.

සැකකාර පුද්ගලයා මාස පහකට අධික කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැවින් ඔහුට ඇප ලබාදෙන ලෙස සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහුට ඇප ලබා නොදෙන ලෙසට රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

කෙසේ වුවද දෙපාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සැකකරුව දැඩි ඇප කොන්දේසි මත එසේ මුදා හැරීමට නියම කළාය.

ඉහත කී ඇප කොන්දේසිවලට අමතරව තවත් දැඩි ඇප කොන්දේසි රැසක්ද සැකකරුට අධිකරණයෙන් නියම විය.

2008 මැයි මස 22 වැනි දින රාත්‍රි 11.39ට පමණ වැල්ලවත්ත ප්‍රදේශයේදී මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබාගෙන කෘෘර වධ හිංසා කිරීමේ සිද්ධියට අනුබල දීම සම්බන්ධයෙන් ඉහත කී මේජර් ජෙනරාල්වරයා ඉකුත් අප්‍රේල් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තවත් සැකකරුවන් පිරිසක් මේ වනවිට මුදා හැර තිබෙන අතර සැකකාර මේජර් ජෙනරාල්වරයා එහි අට වැනි සැකකරු වන්නේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon