2030 වෙනකන් රනිල් තියන්න පාක්‍ෂිකයන් ලෑස්ති නෑ - තිස්ස අත්තනායක

  👤  3216 readers have read this article !
By mawbima 2018-09-11

යන්තම්පලාව - විජේසිංහ වැලිකන්ද

'මම පසුගියදා මාධ්‍යයෙන් දැක්කා 2020 - 2030 වනතුරු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා ඉන්නා බව. මම දකින හැටියට නම් එක්සත් ජාතික පක්ෂයට අලුත් මුහුණුවරක් දෙන්නට තියෙනවා. අලුත් වෙනසක් ඕන වෙලා තියෙනවා' යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පෙරේදා (09දා) මාවතගම මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

'1994 ඉඳලා මේ දක්වා අවුරුදු 24ක් කිසිදු ආකාරයක වෙනසක් එක්සත් ජාතික පක්ෂය තුළ දැක්කේ නැහැ. පාක්ෂිකයන් පක්ෂයෙන් අෑත් වෙමින් ඉන්නේ. තවත් අවුරුදු 12ක් විතර මේ විදියටම යන්න පාක්ෂිකයන් ලෑස්තිද කියලා බලන්න තිබෙනවා. මේක සාර්ථක පියවරක් නෙවෙයි.' 'අවුරුදු 24ක් මේ රටේ ජනාධිපති ධුරය ගන්න, රාජ්‍ය නායකකම ගන්න අසමත් වෙච්ච අවස්ථාවක තවදුරටත් පක්ෂයේ වෙනසක් ඇති නොකර මේ ගමන යන්න බැහැ. මටත් හිතෙනවා පක්ෂය තුළ වෙනසක් ඇති කිරීම ප්‍රමාද කිරීම හරහා එක්සත් ජාතික පක්ෂයේ අයට බරපතළ අසාධාරණයක් සිදුවෙනවා. ඒ විතරක් නෙවෙයි ඊළඟට එන්න ඉන්න නායකත්වයටද බරපතළ ලෙස අසාධාරණයක් සිද්ධ වෙනවා.'

'පක්ෂයේ මන්ත්‍රිවරුන්ට මොකුත් කරන්න විදියක් නෑ. ඔවුන්ගේ විරෝධය පළ කරන්න හෝ ඔවුන්ට වෙනත් ආකාරයක තමන්ගේ මතය ප්‍රකාශ කරන්න ඉඩක් නෑ. ඒක කනගාටුදායක තත්ත්වයක්. මේ සිද්ධිවලින් අවසානේ පාක්ෂිකයන් අතරමං වීමක් විතරයි වෙන්නේ. මන්ත්‍රිවරුන්, සංවිධායකවරුන්, නැත්නම් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ කිසියම් අසාධාරණයක් හමුවේ කතා කරන්න තියෙන තැන් වැහිලා තියෙනවා.' 'මම වෙනම දේශපාලන පක්ෂයක් ගොඩනඟමින් යන්නේ. එහි අවසාන අරමුණ යම් ආකාරයකින් ජනාධිපති මැතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් ආවොත් එයට ඉදිරිපත් වෙන්න. සන්ධානගත වීමක් හෝ ඒකාබද්ධ වීමකට යන්න ඉඩ තියාගෙන තමයි අපි ඒක කරන්නේ. කාගෙවත් කණ්ඩායමක් නොවී, කාගෙවත් පාර්ශ්වයක් නොවී සංවිධානය වෙලා ස්වාධීන මතයක් සහිතව එවැනි තැනකට එන්න තමයි අපේ ඉලක්කය.'

'ඉදිරි ජනාධිපතිවරණය, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය දෙකම අපි ඉලක්ක කරනවා. ඒ දක්වා සංවිධාන කටයුතු කරලා ඒ වෙනකොට තිබෙන තත්ත්වය අනුව තමයි, අවසාන තීරණයකට එළැඹෙන්න සූදානමකින් ඉන්නේ' යැයිද වැඩිදුරටත් පැවැසීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon