CIDය අත්අඩංගුවට ගන්නවා කී අද්මිරාල් රවීන්ද්‍ර මෙක්සිකෝවේ

  👤  3274 readers have read this article !
By mawbima 2018-09-11

චාමර අමරසූරිය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මෙක්සිකෝ රාජ්‍ය බලා ඊයේ (10දා) අලුයම පිටත්ව ගොස් තිබේ.

ලබන 16 වැනි දිනට යෙදී ඇති එරට 208 වැනි ජාතික නිදහස් උළෙලට සහභාගි වීම සඳහා ඔහු එලෙස දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

එරට ආරක්ෂක අමාත්‍යාංශයේ ආරාධනාවකට අනුව අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මෙක්සිකෝව බලා පිටත්ව ගොස් තිබේ.

ලබන 17 වැනිදා ඔහු නැවත මෙරටට පැමිණීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් ඔහුට ඊයේ (10දා) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට එම දෙපාර්තමේන්තුව විසින් ඉකුත්දා (07දා) දන්වා තිබිණි.

ඒ කප්පම් ගැනීම සඳහා තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළා යැයි පැවසෙන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැති අයට රැකවරණය ලබාදුන් බව පැවසෙන සිද්ධියට අදාළව සිදු වන විමර්ශනවලට අනුවය.

තමා විදෙස්ගත වන බැවින් තමාට මෙම විමර්ශනයට අදාළව ඊයේ (10දා) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒමට නොහැකි බැව් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා එම දෙපාර්තමේන්තුවට ලිපියක් මඟින් දැනුම් දීමක් කර ඇත. තමාට ලබන 19 වැනිදායින් පසු නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීම සඳහා දිනයක් ලබාදෙන ලෙසද එම ලිපියෙහි සඳහන් කර ඇත.

මෙම සිද්ධියට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සම්බන්ධ නම් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මීට පෙර කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝගයක්ද නිකුත් කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon