මහවැලි ක්‍රීඩා උළෙල පැවත්වීම පරම්පරා තුනක සම්බන්ධීකරණයට රුකුලක් - මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ _ අරුණ ලේකම්ගේ

  👤  3175 readers have read this article !
By mawbima 2018-09-11

30 වැනි මහවැලි ක්‍රීඩා උළෙල මෙම මස 15 සහ 16 යන දිනවල ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම ක්‍රීඩා උළෙලේ ප්‍රධාන මෙහෙයුම්කරුවකු ලෙසින් කටයුතු කරන මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ (ක්‍රීඩා සහ සංස්කෘතික) අරුණ ලේකම්ගේ මහතා 'මව්බිම'ට පවසා සිටියේ මහවැලි ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අරමුණ වර්තමානයේ මහවැලියේ ජීවත් වන තුන්වැනි පරම්පරාවට පරිසරය ජයගැනීමට අවශ්‍ය දැනට සම්බන්ධීකරණය ඇති කිරීමත් මහවැලි කලාප අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීමත් බවයි.

එමෙන්ම මෙම වර්ෂයේ ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මින් පෙර පැවැති මහවැලි ක්‍රීඩා උළෙලවලදී ලබා නොදුන් වරප්‍රසාද රැසක් ලබා දීමට තීරණය කර ඇති බව පැවැසූ අරුණ ලේකම්ගේ මහතා "සාමාන්‍යයෙන් ක්‍රීඩා උළෙලක පරමාර්ථය ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කරන එකයි. නමුත් මහවැලි ක්‍රීඩා උළෙල කියන්නේ ඊට වඩා වෙනස් පරමාර්ථ හා අරමුණු වෙනුවෙන් පවත්වන ක්‍රීඩා උළෙලක්. ඒ අනුව මහවැලි ව්‍යාපෘතිය තුළ පවතින උප සංස්කෘතීන් අතර සංහිඳියාව ගොඩනඟමින් ඔවුන් අතර සමඟිය සහ අනන්‍යතාව ගොඩනැඟීම මෙම ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අරමුණක්. වර්තමානයේ මහවැලි ව්‍යාපාරයේ සිටින්නේ එහි තුන්වැනි පරම්පරාව. ඔවුන්ට තිබෙන ලොකුම අභියෝගය තමයි පරිසරය ජය ගැනීම. ජලය හිඟකම සහ වගා කටයුතුවලින් සියයට 35-40ක පමණ ප්‍රමාණයක් වනජීවීන් විනාශ වීම ඒ අතර ප්‍රධාන වෙනවා. ඒ අනුව එම මහවැලියේ තුන්වැනි පරම්පරාවට පරිසරයෙන් එල්ල වන අභියෝගයන්ට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය මූලික අඩිතාලම දැමීමත් මහවැලි කලාප අතර මනා සම්බන්ධීකරණයක් ඇති කිරීමත් මෙවන් ක්‍රීඩා උළෙලක ප්‍රධාන අරමුණක් වෙනවා. ඒ වගේම මේ වසරේ ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැඩිදුර පුහුණුවීම් සඳහා ශිෂ්‍යත්ව ලබා දීමටත්, ඉඩම් ලබා දීමටත් අප බලාපොරොත්තු වෙනවා." යනුවෙන් පැවැසීය.

ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් මහවැලි ක්‍රීඩා උළෙල හරහා බිහිවී ඇති බවත්, මෙම වසරේදී පැවැත්වෙන 30 වැනි මහවැලි ක්‍රීඩා උළෙල සඳහා විශේෂාංග රැසක් සංවිධානය කර ඇති බවත් පැවැසූ ලේකම්ගේ මහතා තවදුරටත් අදහස් දක්වමින් "ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50-100ක් අතර ප්‍රමාණයක් අපි බිහි කරලා තිබෙනවා. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී පවා කාන්තා මීටර් 800 ඉසව්වේ උපරිම දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් 8 දෙනා අතර මහවැලි ක්‍රීඩිකාවක් වන ගයන්තිකා අබේරත්න සිටිනවා. එය ඉතාමත් වැදගත් කරුණක්. ඒ නිසා මේ වර්ෂයේදී මහවැලි ක්‍රීඩා උළෙල තවදුරටත් ජනප්‍රිය කිරීමේ අරමුණින් මෙවර ක්‍රීඩා උළෙලට පෙර මුළු ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි පාපැදි සවාරියක් සංවිධානය කර තිබෙනවා. ඒ වගේම පොලිස් සුනඛ සන්දර්ශන සහ සංගීත ප්‍රසංග වැනි විශේෂාංගත් සංවිධානය කරලා තිබෙනවා." යනුවෙන් කීය.

මේ අතර මෙම ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ජාතික තලය දක්වා පැමිණීමට හැකියාවක් නොමැති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගතය සාර්ථක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ද සකසා ඇති බවද කී ලේකම්ගේ මහතා "මේ මහවැලි ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සියයට දශම එකක්වත් ජාතික මට්ටමේ ක්‍රීඩකයන් වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ටත් ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීම සඳහා විසඳුමක් දීම අත්‍යවශ්‍යයි. ඒ අනුව ඔවුන්ට පරිසරය ජයගැනීමට සුදුසු වැඩපිළිවෙළක් සකසා දීමත් අපගේ ප්‍රධාන අරමුණක්. එමෙන්ම මෙම කටයුතු සංවිධානය කරන ක්‍රීඩා සංවිධාන බිහි කිරීමත් ඒ ඒ ප්‍රදේශයන්ට අනුකූලව නිපුණත්වයක් එම දරුවන් තුළ ඇති කිරීමත් මෙම ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අරමුණක්. ඒ අනුව මෙය ක්‍රීඩා උළෙලකට පමණක් සීමා වන්නේ නැහැ. ඊට සමගාමීව විශාල වැඩපිළිවෙළක් සිදු කෙරෙනවා." යනුවෙන් අවසාන වශයෙන් ප්‍රකාශ කළේය.

සටහන - සිරිනාම
ඡායාරූපය _ ඒශාන් දසනායක

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon