හොඳ විනයක් ඇති දක්‍ෂ කණ්ඩායමක් හදාගන්න ලැබීමෙන් ජයග්‍රහණයට පහසු වුණා - පුහුණුකාරිනී, තිලකා ජිනදාස

  👤  3174 readers have read this article !
By mawbima 2018-09-11

2009 වසරේදී ආසියානු දැල්පන්දු ශූරතාවක් දිනාගත් පසු එවැනි කිරුළක් දිනාගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවත් වසර 9ක්ම බලා සිටීමට සිදු විය. වසර 9ක දැල්පන්දු ඉඩෝරය නිමා කරමින් තිලකා ජිනදාස යටතේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා සත්කාරක සිංගප්පූරු කණ්ඩායම පරාජය කරමින් වසර 9කට පසු ආසියානු කුසලානය තමන් සන්තකයට ගැනීමට සමත් විය.

තවද අවසන් වරට 2009 වසරේදී ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාව ජයග්‍රහණය කළ මොහොතේද ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකාරිණිය ලෙස කටයුතු කළේද තිලකා ජිනදාස වීම විශේෂත්වයකි.

මේ ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තිලකා ජිනදාස පවසා සිටියේ කණ්ඩායමේ විනය මෙම ජයග්‍රහණයට පාදක වූ බවය. "හොඳ විනයක් නැත්නම් දිගු ගමනක් යන්න අමාරුයි. මම ලංකාවට එනකොට බොහෝ අය කිව්වා දැල්පන්දු කණ්ඩායමේ ඉන්න බොහෝ අය ජාතික මට්ටමේ ඉන්න ක්‍රීඩිකාවන් නිසා ඒ අය හසුරුවන්න තිලකාට අමාරු වෙයි කියලා. ඒත් ඔවුන් හොඳ විනයක් ඇතිව ක්‍රියාකරපු නිසයි අපිට හොඳ කණ්ඩායමක් හදාගන්න පුළුවන් වුණේ. ඒ වගේම නාලක හේවාමද්දුම මහත්තයා ඔවුන්ගේ මනස හදන්න බොහෝ දේවල් කළා" යැයි පැවැසූ තිලකා හිටපු හා වත්මන් ක්‍රීඩා අමාත්‍යවරුන්ට විශේෂ ස්තුතියක් පිරිනැමීය.

"හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මගෙන් ඉල්ලුවේ දැල්පන්දුව හරි මාර්ගයට දාලා රට දිනවලා දෙන්න කියන කාරණය විතරයි. ඒ මොකද කිව්වොත් දැල්පන්දුවේ තත්ත්වය එතුමාට තේරුම් ගිහිල්ලයි තිබුණේ. ඒ වගේම වත්මන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාටත් විශේෂ ස්තුතියක් පිරිනැමිය යුතුයි. මලාවි තරගාවලියකට යන්න ලොකු අවශ්‍යතාවක් තිබුණත් අපිට මුදල් තිබුණේ නැහැ. ඒත් එවෙලේම එතුමා ඉදිරිපත් වෙලා ලිපි ගනුදෙනුවක් නොමැතිවම අපිට උදවු කළා. මම හිතන්නේ අපිට මේ තරගාවලිය ජයගන්න ඒක පන්නරයක් වුණා කියලයි" යනුවෙන්ද තිලකා ජිනදාස සඳහන් කළාය.

මේ අතර රට ගැන සිතා එකට එකතු වී එකා මෙන් පුහුණුවීම් කටයුතු කළ නිසා මෙම ජයග්‍රහණය ලැබූ බව ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා චතුරංගි ජයසූරිය සඳහන් කර තිබිණි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon