මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය ටෙන්ඩර් පටිපාටියකින් තොරව කොන්ත්‍රාත්කරුවන් තෝරාගෙන

  👤  2538 readers have read this article !
By mawbima 2018-09-12

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්


මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ පළාත් නිශ්චිත ප්‍රතිපාදන හා නඩත්තු ප්‍රතිපාදන යටතේ වෙන්වුණු රුපියල් මිලියන 300ක මුදලක් කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව තෝරාගත් කොන්ත්‍රාත්කරුවන් 16 දෙනකුට ලබාදීම පිළිබඳව මධ්‍යම පළාත් ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් පිරිසක් ආණ්ඩුකාරවරයාට පැමිණිලි කිරීමට සූදානම් වේ.


මධ්‍යම පළාත් සභාවේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් 180 දෙනකු පමණ සිටියදී කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම කොන්ත්‍රාත් ලබාදීම පිළිබඳ ඇතැම් කොන්ත්‍රාත්කරුවෝ විමතිය පළ කර සිටිති. මේ ස¼දහා විවෘත ටෙන්ඩර් කැඳවා නීත්‍යනුකූල පියවරක් අනුගමනය කරමින් ටෙන්ඩර් ලබාදෙන ලෙසත් මෙම කොන්ත්‍රාත්කරුවන් 16 දෙනාගේ ටෙන්ඩර් අවලංගු කරන ලෙසත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමට මෙම කොන්ත්‍රාත්කරුවෝ පියවර ගනිමින් සිටිති.


මේ පිළිබඳව මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍ය එදිරිවීර වීරවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, එය සම්පූර්ණ අසත්‍ය චෝදනාවක් බවය. ඉදිරි කාලයේ වැසි සහිත කාලයක් නිසා කඩිනමින් මේ මාර්ග ඉදිකර අවසන් කළ යුතු බවද කීය. මධ්‍යම පළාතේ එකසිය ගණනක් කොන්ත්‍රාත්කරුවන් සිටින අතර ඉන් අසාදු ලේඛනයට අයත් කොන්ත්‍රාත්කරුවන් මෙම චෝදනාව එල්ල කරන බවද සඳහන් කළේය. සම්පූර්ණ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදුකර ඉතා හොඳින් කටයුතු කරන කොන්ත්‍රාත්කරුවන් පිරිසකට මෙම මාර්ග 10 ලබාදී ඇති බව ඇමැතිවරයා පැවැසීය. මෙම පිරිස ආණ්ඩුකාරවරයාද නොමඟ යැවීමට කටයුතු කරන බවත් ඉතා විවෘතව කටයුතු කර මෙම මාර්ග සඳහා කොන්ත්‍රාත් පිරිනමන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.


මීට පෙරද මේ ආකාරයෙන්ම මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රතිපාදනවලින් ඉදිකිරීමට නියමිත මාර්ග කීපයක් සඳහා තෝරාගත් කොන්ත්‍රාත්කරුවන් 14 දෙනකුට ලබාදීමට එරෙහිවද කොන්ත්‍රාත්කරුවන් පිරිසක් විසින් ආණ්ඩුකාරවරයා දැනුවත් කර තිබේ. එහිදී ආණ්ඩුකාරවරයා විසින් මධ්‍යම පළාතේ සියලුම කොන්ත්‍රාත්කරුවන්ට ඉල්ලුම් කළ හැකි ආකාරයට නැවත එම ටෙන්ඩර් කැඳවන්නැයි පළාත් ප්‍රධාන ලේකම්වරයාට සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon