‘හැත්මෙ ශාන්තිකර්මය’ 15-16 දෙදින කොටබකින වනාන්තරයේදී

  👤  2525 readers have read this article !
By mawbima 2018-09-12

කුරුණෑගල - කමලා අතරගල්ල


මෙරට ආදිවාසී ජනතාව වසරකට වතාවක් පත්වනු ලබන "හැත්මෙ ශාන්තිකර්මය" මේ වසර සඳහා සැප්තැම්බර් මස 15 සහ 16 යන දෙදින තුළදී කොටබකින වනාන්තරයේදී පවත්වනු ලබයි. ලෙඩ රෝග වළක්වා ගනිමින් ගොවිතැන් දියුණු කරගනිමින්, අනතුරු වළක්වාගෙන දඩයම් ආදිය කරගනිමින් ගමත්, ගැමියනුත් දියුණුවට පත්කර ගැනීම මෙම ශාන්තිකර්මයේ අරමුණයි.


මහියංගණ මහ සමන් දේවාලයේ පෙරහර මංගල්‍යයට පෙර පැවැත්විය යුතු හැත්මෙ ශාන්තිකර්මය මළගිය නෑයකුන් උදෙසා කරන පුද පූජාවකි. විශේෂයෙන් හැත්මෙ භූමිය තුළ ඉදිවෙන දේවතා කොටු අතර මහීකාන්තා කිරිඅම්මා (කුවේණි), කුකුලාපොල කිරිඅම්මා, උනාපාන කිරිඅම්මා, මහලොකුවො කිරිඅම්මා, කඩවර දෙවියො, කළුබණ්ඩාර, කොහොඹාබංඩාර, ඉරුගල්බණ්ඩාර, සඳුගල්බංඩාර යන දෙවිවරු විශේෂ තැනක් ගනී.


දින දෙකක් පුරා ප්‍රධාන ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පති උෟරුවරිගයේ වන්නියලැත්තන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ශාන්තිකර්මය පැවැත්වේ.
ආදිවාසී ජනතාව අතර ඉතා ජනප්‍රියතම ශාන්තිකර්මයක් වන කිරිකොරහා ශාන්තිකර්මය එදින පවත්වන අතර විශේෂයෙන් රෝග වළක්වා ගැනීම, කුඩා දරුවන් රෝගවලින් ආරක්ෂා කර ගැනීම, කිරිගවයන්ට වැලඳෙන රෝගවලින් ගවයන් ආරක්ෂා කර ගැනීම එම ශාන්තිකර්මයෙන් ඔවුහු බලාපොරාත්තු වෙති.


එයට අමතරව මල්එළි, බුලත්යහන්, ඇල්යකින්න, කම්බකණුව, මුක්කාලි යන ශාන්තිකර්ම පහක් දෙදින තුළදී පැවැත්වේ. ඉන්පසු ඔවුන් දෙවියන්ට හෙවත් මළගිය නෑයකුන්ට බාර හාරවී ඉසතෙල් ගෑමක්ද සිදුකරනු ඇත.


ආදීවාසීි ජනයා ඉතා ඉහළින් පවත්වන මෙම ශාන්තිකර්මයට මධ්‍යම සංස්කෘතික අරමුදලද දායකත්වයක් සපයමින් සහයෝගය ලබා දෙනු ඇත. එම හැත්මෙ ශාන්තිකර්මය පැවැත්වෙන දෙදින තුළ මෙරට නන්දෙසින් පර්යේෂණ හා ගවේෂණවල යෙදෙන්නන්ද උසස් අධ්‍යාපනය ලබන්නන්ද සහභාගි වන බව ආදිවාසී ප්‍රධාන නායකයා පැවසීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon