කුරුදුමලෙයි පුරාවිද්‍යා ස්ථානයේ සංවර්ධන කටයුතු නවතාලීමේ උසාවි නියෝගයක්

  👤  2659 readers have read this article !
By mawbima 2018-09-12

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ


මුලතිව් තන්නිමුරුප්පු කුරුදුමලෙයි පුරාවිද්‍යා ස්ථානය පිහිටුවීමේ හා එම ප්‍රදේශය සංවර්ධනය කිරීමේ කටයුතු මුලතිව් අධිකරණය මඟින් තාවකාලිකව අත්හිටුවීම පිණිස නියෝගයක් නිකුත් කොට තිබේ.


දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් විසින් මුලතිව් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් කරුණු දක්වා ඇත්තේ මේ අවස්ථාවේදී මුලතිව් ජනතාව දැඩි ලෙස කෝපයට පත්ව සිටින නිසා මේ ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංවර්ධන කටයුතු සිදු කළහොත් අනවශ්‍ය ප්‍රශ්න ඇති විය හැකි බවයි.


පෙත්සම සලකා බැලූ දිසා විනිසුරුවරයා එම ස්ථානයේ සංවර්ධන කටයුතු සිදුකිරීම තාවකාලිකව නතර කරන ලෙස තහනම් නියෝගයක් නිකුත් කොට තිබේ.
නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු කිරීමේ අවසර පත් හා මේ ස්ථානයේ පුරාවිද්‍යා වටිනාකම පිළිබඳව අදාළ ලියවිලි මුලතිව් පොලිසිය හා පළාතේ සියලුම බලධාරීන්ට ඉදිරිපත් කොට ඇත.


මෙසේ බලපත්‍ර රැගෙන සැප්තැම්බර් මස හතරවැනිදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පිරිසක් අදාළ ස්ථානය සංවර්ධනය කිරීමට ගිය අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රි ටී. රවිහරන් මහතා විසින් තවත් පිරිසක් රැගෙනවිත් පුරාවිද්‍යා කණ්ඩායමට බාධා කොට තිබේ.


කාලයකට පසුව මුලතිව් කුරුදුමලෙයි පුරාවිද්‍යා ස්ථානය සංවර්ධනය කිරීමේ කටයුත්ත දැකබලා ගැනීමට බෞද්ධ භික්ෂුන් වහන්සේ දෙනමක් හා තවත් පිරිසක් පුරාවිද්‍යා නිලධාරීන් සමඟ ගොස් ඇති අතර ඒ පිරිස හා දෙමළ ජාතික සන්ධානයේ කණ්ඩායම බහින්බස් වී ඔවුන්ව එළවා දැමීමට කටයුතු කොට තිබේ.


මේ තර්ජනය කිරීම් හා බියවැද්දීම් මත මුලතිව් පොලිසිය පළාතේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය නායකයාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව එදිනම පොලිස් ඇප මත නිදහස් කොට තිබේ.


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මුලතිව් කුරුදුමලෙයි පුරාවිද්‍යා ස්ථානයේ වටිනාකම පැහැදිලි කොට දීමට කොතරම් උත්සාහ කළත් දෙමළ ජාතික සන්ධානය කියා සිටින්නේ මහවැලිය හා පුරාවිද්‍යාව පෙන්වමින් උතුරේ දෙමළ ජනතාවට අයත් ඉඩම්වල රජය බලහත්කාරයෙන් සිංහල ජනාවාස ඇති කිරීමට උත්සාහ දරන බවයි.


නමුත් පුරාවිද්‍යා නිලධාරීන් කියා සිටින්නේ අදාළ පුරාවිද්‍යා ස්ථානය පිළිබඳ තොරතුරු 18 වැනි සියවසේ සිට වාර්තා ගත වී ඇති බවකි.


මෙය 2013 වසරේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇතැයිද ක්‍රි.ව. 100 -103ත් අතර සමයේ මෙම විහාරය ගොඩනැඟූ බවත් පළමු අග්බෝ සහ පළමුවැනි විජයබාහු රාජ සමයේ විහාරය වැඩිදියුණු කළ බව මහාවංසයේ දැක්වෙන බවද පුරාවිද්‍යා නිලධාරීන් කියා සිටියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon