නිදන් හොරුන් විශේෂ කාර්ය බළකා අත්අඩංගුවේ

  👤  2615 readers have read this article !
By mawbima 2018-09-12

උෟරුබොක්ක - අතාවුද පතිරණ


මාතර උෟරුබොක්ක උමං‍ෙදාළ ප්‍රදේශයේ නිධානයක් ගැනීමට ගිය පිරිසක් දෙණියාය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් පසුගියදා (9දා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.
දෙණියාය විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක එච්.පී.පී.ඩී. හේවා පතිරණ මහතාට ලැබුණු තොරතුරකට අනුව උෟරුබොක්ක පොලිස් බල ප්‍රදේශයේ උෟරුබොක්ක කටුවන පාර උමං‍ෙදාළ ප්‍රදේශයේ උෟරුබොක්ක ඔයේ නිදන් හාරමින් සිටි පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයන් හීගොඩ, උෟරුබොක්ක, බෙරලපනාතර, කීරිපිටිය, කැකුන්දෙණිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 22-54 අතර වයස්වල පසුවන පුද්ගලයන් පිරිසකි. මේ දිනවල උෟරුබොක්ක ඇතුළු ප්‍රදේශවලට බලපා ඇති නියඟය හේතුවෙන් උෟරුබොක්ක ඔයේ ජල මට්ටම අඩු වී තිබෙන බැවින් විශාල ගල් පර්වත මතු වී ඇත. එම ගල් පර්වතයක් විද එහි තැන්පත් කර තිබෙන නිධානයක් ගොඩ ගැනීමට උත්සාහ ගත් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර නිධානය ගොඩගැනීමට අවශ්‍ය ශාන්ති කර්ම සිදු කරමින් සිටි යකැදුරාද සිටී.


සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගත් උපකරණ අතර විදුලි ජෙනරේටරයක්, ගල් විදින අත් යන්ත්‍රයක්, වාහන බැටරියක්, වයර් රෝල් තුනක්, මිටියක්, ගල් බෝර කොටන යකඩ කූරක්, ටෝච් එකක්, කළු නූල් බෝලයක්, කඹයක්, බකට් එකක්, ගල් විදින කටු දෙකක් සහ වෙඩි බෙහෙත් වර්ග තුනක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට අමතරව මල්, හඳුන්කූරු සහිත මල් බුලත් තටුවක්ද අත්අඩංගුවට ගෙන ඇත.


මීට දින තුනකට පෙරද මෙම ස්ථානයේ ගල් බෝර දමා ගල පුපුරවා නිධානය ගැනීමට උත්සාහ ගෙන ඇති බවත් ප්‍රදේශවාසීන් පොලිසියට දැනුම් දීමත් සමඟම පිරිස පලා ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පැවැසීය. විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වැටලීම සිදු කරන අවස්ථාවේ මල් බුලත් තටුව තබා පූජාව පවත්වමින් ගල විදිමින් සිටින අවස්ථාවේ වැටලීම සිදු කර තිබිණි. නිදන් සොරුන් විසින් පුපුරවා හැරීමට උත්සාහ කළ ස්ථානය ආසන්නයේ ජල විදුලි බලාගාරයක් ඉදිකර තිබෙන අතර ගල පුපුරවා හැරියා නම් ජල විදුලි බලාගාරයටද හානි සිදු වීමට ඉඩ තිබූ බවට වැටලීම සිදු කළ නිලධාරීන් පැවැසීය.


විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි එස්.ආර්. ලතීෆ් මහතාගේ උපදෙස් මත හම්බන්තොට - ගාල්ල කලාප අණදෙන නිලධාරි පොලිස් අධිකාරි නිශේධ ප්‍රනන්දු මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරි ගාල්ල සේනාංකයේ අණදෙන නිලධාරි අමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ දෙණියාය විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක එච්.පී.පී.ඩී. හේවා විතාරණ මහතා සමඟ උප පොලිස් පරීක්ෂක ජයසිංහ, පො.සැ. සමන්සිරි (53468), පො.සැ. අසංක (14564), පො.කො. කිත්සිරි (22524), පො.කො.රි. දිසානායක (90596) යන නිලධාරීන් විසින් වැටලීම සිදු කර තිබිණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ උපකරණ වැඩිදුර විමර්ශනය සඳහා උෟරුබොක්ක පොලිසියට භාරදී ඇති අතර උෟරුබොක්ක පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon