සුමන්තිරන්ගේ මතය පක්ෂයේ මතය නොවේ - ටෙලෝ නායක අඩෛක්කලනාදන්

  👤  2513 readers have read this article !
By mawbima 2018-09-12

මුලතිව් - ශෂි කුමාර්


දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක වූ පමණින් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා වෙත සියල්ල ප්‍රකාශ කිරීමේ අයිතියක් නොමැති බව ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෛක්කලනාදන් මහතා පැවැසීය.


ටෙලෝ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ වවුනියාවේ පෞද්ගලික හෝටලයක පැවැත්වූ අවස්ථාවේදී ඔහු මේ බව මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේය.
එහිදී අඩෛක්කලනාදන් මහතා වැඩිදුරටත් පැවැසුවේ,


දෙමළ ජාතික සන්ධානය තුළ ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පමණක් නොපවතින අතර සන්ධානය තුළ ටෙලෝ හා ප්ලොට් සංවිධානයන්ද පවතින බවත් සුමන්තිරන් මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා සම්බන්ධයෙන් හා අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමේදී අදාළ ප්‍රකාශ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශ වශයෙන් එළිදැක්වීම සිදු නොකළ යුතු බවද කියා සිටියේය.


විග්නේශ්වරන් මහතා හා සුමන්තිරන් මහතා සම්බන්ධයෙන් ගැටලු පැවැතියද දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ හා ප්ලොට් සංවිධානය වෙත එවන් ගැටලුවක් නොමැති අතර එවන් අවස්ථාවක හෙතෙම සිය පෞද්ගලික අදහස පමණක් ඉදිරිපත් කළ යුතු අතර දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක තනතුර භාවිත කරමින් සන්ධානයේ මතය ප්‍රකාශයට පත් නොකළ යුතු බවද අඩෛක්කලනාදන් මහතා පැවැසීය.


සුමන්තිරන් මහතා සිදුකරන ප්‍රකාශ තුළින් දෙමළ ජාතික සන්ධානයේ මතය පමණක් ප්‍රකාශ නොවන අතර මන්ත්‍රිවරයා සිදුකරන ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ, ටෙලෝ හා ප්ලොට් සංවිධාන පරස්පර අදහස් ඉදිරිපත් කොට ඇති අතර සුමන්තිරන් මන්ත්‍රිවරයාගේ ප්‍රකාශ තුළින් ඇතැම් අවස්ථාවන්හිදී දමිළ ජනතාව අතරින් පවා දෙමළ ජාතික සන්ධානය වෙත පවතින ප්‍රසාදය ගිලිහී යන ආකාරයක් දක්නට ලැබෙන බවද අඩෛක්කලනාදන් මහතා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon