ආණ්ඩුවේ අනුග්‍රහයෙන් බුදු සසුන අද විනාශ කරනවා

  👤  2650 readers have read this article !
By mawbima 2018-09-12

අද බුදුදහම විනාශ කිරීම සඳහා රජයේ අනුග්‍රහයෙන් සිදුවන කටයුතු දිහා බලනකොට අපේ හාමුදුරුවරු බුදුදහම රැකගැනීමට බෞද්ධයන්ව පන්සලට ළං කරගන්න මෙවැනි කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. අද බුදුහාමුදුරුවන්ට අපහාස කරලා පොත් ලියනවා. බුදු දහමට විරුද්ධව කටයුතු කරනවා. එවැනි අය අද මහ උගතුන් විදියට හඳුන්වනවා යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පැවැසීය.


ඒ මහතා මේ බව පැවැසුවේ 9 වැනිදා ගිරිඋල්ල - මැද්දේපොළ රජමහ විහාරාධිකාරි මිරිහානේ ධම්මපාල ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් එම විහාරස්ථානයේ ඉදිකරන ලද රන් වැට සහිත බෝධි ප්‍රාකාරය, අටවිසි බුද්ධ මන්දිරය විවෘත කිරීම හා ලොව විශාලතම සැතපෙන ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය ආරම්භ කිරීමේ පුණ්‍ය මහෝත්සවයට එක්වෙමිනි.


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.


අපි හදපු ආර්ථිකය වෙනස් කළා. අපිට මීටත් අන්ත ආණ්ඩුවක් ලැබුණේ. නමුත් අපි යුද්ධය අවුරුදු 3න් අවසන් කළා. අවුරුදු 30කට ආසන්න කාලයක් තිබ්බ යුද්ධයක් අවුරුදු 3කින් අවසන් කළා. අපි එතැනින් නොනැවතී ආර්ථිකය ගොඩනැඟුවා. පාරවල් හැදුවා. අධිවේගී මාර්ග හැදුවා. වාරයවල්, ගුවන්තොටුපොළ හැදුවා. රටේ වටිනාකම සිය දහස් ගුණයකින් වැඩි වුණා. ලංකා භූමිය ගැන මෙතෙක් කල් ඇහුවේ මුහුදට හේදිලා ගිහින් කුඩා වන රටක් විදියටයි. නමුත් දැන් අක්කර 500 ගණනක් එකතු වෙලා කොළඹින්. හම්බන්තොටින් අක්කර 100ක දූපතක්. මේවා වික්කේ නෑ. අවුරුදු 200කට බදු දුන්නා.


අපේ කාලයේ ඒකපුද්ගල ආදායම වැඩි වුණා. විරැකියාව අඩු වුණා. නමුත් අද ඒවා විනාශ වෙලා. දැන් කියනවා ආර්ථිකය ගොඩනඟන්න තව කාලයක් දෙන්නලු.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට පාවා දීම නිසායි පොහොට්ටුව ජයග්‍රහණය කළේ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුන්ගේ ආණ්ඩුවක් හදන්න මුක්කු ගැහිල්ල තමයි අපිට තියෙන කැක්කුම. ඒකයි අපිට තියෙන විරෝධය. අද මේ ආණ්ඩුවේ බඩු මිල වැඩිවෙනවා වගේම ජනාධිපතිතුමාගේ උපන් දිනයදාම පාන් ගෙඩියේ මිල රුපියල් 5කින් වැඩි කළා. ඒ වුවමනාව තිබුණේ කාටද? ඇයි මේ 5කින් වැඩි කළේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ජනාධිපතිතුමාගේ උපන් දිනයට ජනතාවට දුන්න තෑග්ග. කුඹුරු පාළු වුණා. අද පොල් පිටරටින් ගේන්න යනවා. බුලත් මිල අඩු වුණා. මේ හැමදේකම මිල අඩු වුණා. මෙවැනි තත්ත්වයකට රට පත් වුණා. පෙට්රලුත් වැඩිවෙයි. පාසල් යන දරුවන්ට වෑන්වලට වැඩියෙන් ගෙවන්න වෙයි. කොහොම වුණත් අපි රට ගැන හිතන්න ඕන. ශාසනය ගැන හිතන්න ඕන. සියලු ජාතීන්ට, සියලු ආගම්වලට නිදහසක් තියෙන්න ඕන.


වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැකව ශ්‍රී ජිනරතන ස්වාමීන් වහන්සේ
නැඟෙනහිර පළාතේ වෙහෙර විහාර ඩෝසර් කරනවා. රටේ රාජ්‍ය නායකයා ඒ පිළිබඳව කතා කරන්නේ නෑ. විල්පත්තු කැලේ කපාගෙන යනවා. ඒ ගැන කතා කරන්නේ නෑ. යාපන අර්ධද්වීපයේ බුදුදහම තහනම් කළොත් අපිට කරන්න කිසිදෙයක් ඉතුරුවෙන්නේ නෑ. දෙමළ ඩයස්පෝරාව තුනෙන් දෙකේ ඡන්දයක් ගන්න සල්ලි වියදම් කරනවා. අද රටේ තත්ත්වය මේකයි.


බුදුදහම පමණක්ම නෙවෙයි. අද මේ රටේ අහස විකුණනවා. මහපොළොව විකුණනවා. මුහුද විකුණනවා. 1815 මේ රටේ දුෂ්ට ගිවිසුමට වඩා මහ දරුණු ගිවිසුමක් තමයි සිංගප්පූරු ගිවිසුම. අපේ රටේ නැඟෙමින් පවතින කර්මාන්ත, කෘෂිකර්මාන්ත සියල්ල අවසන් වෙනවා. අපට කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ. ලෝකයේ දියුණු රටවලට අපේ කෘෂිකර්මාන්තය විවෘත කරනවා.

ඒ නිසා අපේ කෘෂිකර්මාන්තය අවසන් වෙනවා සිංගප්පූරු ගිවිසුමෙන්. ජපානෙට අපේ අධිවේගී මාර්ග ටික විකුණනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අධිවේගී මාර්ග හදලා ඒවායේ මුදල් එකතු කරලා භාණ්ඩාගාරයට පමණයි දාන්න ඉතුරුවෙලා තියෙන්නේ. විකුණන්න දෙයක් ඉතුරුවෙලා නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමා හම්බන්තොට නිසා නෙවෙයි හම්බන්තොට වරාය හැදුවේ. ඉන්දියාවේ නාවික හමුදාවේ ප්‍රධානියෙක් අවුරුදු 12ක් සමීක්ෂණය කළා ඉන්දියන් සාගරයේ නැව් ගමනාගමනය ගැන. ඒ වාර්තාව අනුව ඉන්දියන් සාගරයේ හම්බන්තොට පසුකරගෙන යන නැව් සංඛ්‍යාව එක වර්ෂයකට තෙල් නැව් පමණක් 84,000ක් ඉක්මවනවා. මේ දිස්ත්‍රික්කයේ එක නායකයෙක් කිව්වා මේකේ ගල්, නැව්වලට එන්න බෑ කියලා. දැන් මේක චීනෙට විකුණලා. නූපන් පරම්පරාවට මේ හම්බන්තොට වරායේ වටිනාකම භුක්ති විඳින්න ලැබෙන්නේ නෑ. අපි මේ ආණ්ඩුව පරාජය කිරීම සඳහා සියලු දෙනා එකට එකතු වෙලා මේ ආණ්ඩුව පෙරළා දැමිය යුතුයි.
වඩුමුන්නේගෙදර - තිළිණි පවිත්‍රා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon