රට වෙනුවෙන් විදෙස්ගත වූ රවී විජේගුණරත්නගෙන් අවශ්‍ය නම් කටඋත්තරයක් ගන්න පුළුවන්

  👤  2775 readers have read this article !
By mawbima 2018-09-12

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න විදේශගත වී ඇත්තේ රට වෙනුවෙන් බවත් ඔහු යළි දිවයිනට පැමිණි පසු රහස් පොලිසියට අවශ්‍ය නම් කටඋත්තරයක් ලබාගත හැකි බවත් ශ්‍රී ලනිප මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පැවැසීය.


මූලස්ථානයේ ඊයේ (11දා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කීවේය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.


ජනාධිපතිතුමාට අවස්ථාව ලැබිල තියෙනවා එක්සත් ජාතීන්ගේ සමුළුව පළමු දවසේම අමතන්න. එතුමා සිංහලෙන් තමයි මෙවරත් එම දේශනය කරන්නේ. සංහිඳියාව පිළිබඳව, රටේ දැනට තියෙන යම් යම් අභියෝග පිළිබඳව එහිදී කතා කරන්න නියමිතයි. ඒ වගේම එක්සත් ජාතීන්ගේ නව මහ ලේකම්වරයා හමු වී සාකච්ඡා කරන්න නියමිතයි. එතුමා අපේ රටට අමුත්තෙක් නොවේ. එතුමා අපේ රටේ සංචාරය කළා. සරණාගත කටයුතු ගැන බලද්දී එතුමා උතුරෙත් සංචාරයක නිරත වුණා. එතකොට මම මානව හිමිකම් ඇමැති.
ඒ වගේම රාජ්‍ය නායකයෝ එම සමුළුව අමතන පළමු සතියෙ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා සිහි කිරීමේ උත්සවයක් තියෙනවා. එහි දේශනයක් පැවැත්වීමටද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඒ වගේම ජාත්‍යන්තරයට විශාල අභියෝගයක් වී ඇති මත්ද්‍රව්‍ය ගැන සම්මුතියකට එන්න ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කරනවා. ඒ සඳහා අපේ ජනාධිපතිතුමත් කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න රහස් පොලිසිය හොයද්දී රටින් පිටවුණා කියලා ලොකු ප්‍රචාරයක් තිබුණා. අපි ඒ ගැන හොයල බැලුවා. එතුමා මෙක්සිකෝවේ ආරාධනයකට අනුවයි ගියේ. ඒක බොහොම විනිවිදභාවයකින් යුතුව තමයි කරලා තියෙන්නේ. එතුමා බොහොම කාර්යශූර රණවිරුවෙක්. එතුමා පැනල යන කෙනෙක් නොවේ. රට වෙනුවෙන් විදේශගත වුණේ. මගෙත් හොඳ මිතුරෙක්. මතුගම පැත්තෙ. ඒක වෙනම කතාවක්. නමුත් එතුමා පැනලා ගිහින් නෑ. එතුමා ආවට පස්සේ ඕනම කටඋත්තරයක් දෙන්න ලෑස්තියි. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ.


ඒ වගේම ලෝකේ වරායවල් වර්ධනය අතරින් පළමු තැන කොළඹ වරාය ලබාගෙන තියෙනවා. අපේ වර්ධනය 15.6%යි. දෙවැනි තැන සිංගප්පූරුව. එහි වර්ධනය 11.2%යි. තුන්වැනි තැන ඉන්දුනීසියාව. එහි වර්ධනය 10.6%යි. මේ තත්ත්වයට ගේන්න අපේ සේවක සේවිකාවෝ ලොකු කැපකිරීමක් කළා. ලෝකේ හොඳම වරායවල් 10 අතරට අපේ වරාය ගෙන ඒම තමයි මගේ අරමුණ.


මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලනිප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස


අපි පසුගිය දවසක ජනබල මෙහෙයුම දැක්කා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී උත්සාහයක්. නමුත් ඉතා අවාසනාවන්ත සිද්ධියක් වුණා. මම එතකොට පක්ෂ මූලස්ථානයේ හිටියේ. එක් පිරිසක් පක්ෂ මූලස්ථානයට 'හූ' කිව්වා. පක්ෂයෙන් ඡන්ද ඉල්ලපු අයගෙ සහායකයන් ලවා එවැනි දේවල් කිරීම අප අනුමත කරන්නෙ නෑ. ඒක හරියට වැදූ මවට 'හූ' කියනවා වගේ දෙයක්. ඒ ගැන මම අතිශය කම්පා වුණා. කෙසේ වෙතත් පක්ෂයේ ඉතිහාසය පුරාම මෙවැනි දේ වුණා. ඒවට මුහුණ දෙන්න පක්ෂයක් හැටියට අපිට පුළුවන්. ඉදිරියේදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වෙලා අපි අපේ පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ගැන කතා කරනවා. මේ රටේ සෑම ජයග්‍රහණයක් පිටුපස්සෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටියා.


මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලටද මහ ලේකම්වරයා සහ මහින්ද සමරසිංහ ඇමැතිවරයා පිළිතුරු දුන්හ.


මහ ලේකම්තුමා, ඒකාබද්දේ ඉන්න ශ්‍රී ලංකා මන්ත්‍රිවරු පොහොට්ටුවට ඍජුවම වැඩ. ඉතින් ඇයි ක්‍රියාමාර්ගයක් ගන්න බැරි?


නම් කියන පළියට, බහින පළියට පක්ෂයක් හැටියට අපට ප්‍රතිචාර දක්වන්න බෑ. අපි ඊට වඩා පුළුල් විදියටයි මේක දකින්නේ. ඉවසිලිවන්තව කටයුතු කරන්න ඕන. ආවේගශීලීව කටයුතු කරන්න බෑ. ඒ අය අපේ අය තමයි. ඒ අය එකතු කරන්න ඕන. මම හැම වෙලාවෙම කියන කියන හැමදේටම උත්තර දෙන්න යන්නෙ නෑ.


මහ ලේකම්තුමා, එකතු වෙන්න ඕන කියන මතයේ. පොහොට්ටුවෙ අයට වුවමනාවක් නෑනෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණද මේ වුවමනාව තියෙන්නේ?
ගමේ තියෙන මතය ඕක නොවේ. ඒ අය ඉන්නෙ අපි හැමෝම එකතු වෙන්න ඕන කියන තැන. වචනයක් දෙකක් අල්ලගෙන දැඟලිය යුතු නෑ.
රුචිර දිලාන් මධුශංඛ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon