පුරාවිද්‍යා නීතිවලට පටහැනිව හින්දු කෝවිලක් ඉදිකරයි

  👤  2591 readers have read this article !
By mawbima 2018-09-12

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ, ඕමන්ත - ශේෂලා අමරසිංහ


වවුනියාවේ බෞද්ධ සිද්ධස්ථානයක් අසල හින්දු කෝවිලක් ඉදිකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර දීමටත් පෙර පුරාවිද්‍යා නීතිරීතිවලට පටහැනිව හින්දු කෝවිලක් ඉදිකොට තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස නම් කොට ඇති වවුනියාව නෙඩුන්කේණි ඕලුමඩුව පළාතේ වඩිනාගල බෞද්ධ නටබුන් සහිත ස්ථානයට මීටර් හාරසීයක් දුරින් හින්දු කෝවිලක් ඉදි කරගැනීම පිණිස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර දෙන විට වඩිනාගල බෞද්ධ පුරාවස්තු පිහිටි ස්ථානයේම හින්දු කෝවිල ඉදිකොට තිබේ.


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ අවසරය ලබා දී ඇත්තේ පසුගිය 21දා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු දේශපාලනඥයන් පිරිසක් වඩිනාගල බෞද්ධ නටබුන් සහිත ස්ථානය හින්දු කෝවිලක් ඉදිකිරීම සඳහා ලබා දෙන මෙන් නෙඩුන්කේණි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමෙන් අනතුරුවය.
දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික්කයේ හා යාපනයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා තවත් දේශපාලනඥයෝද මහජන සංවිධානද එම උද්ඝෝෂණය පවත්වන විටත් අදාළ කෝවිලේ පූජාවන් පැවැත්වෙමින් තිබිණි.


දේශපාලනඥයන් විශාල පිරිසක් සතියකට පමණ ඉහතදී එම ස්ථානයට ගොස් දේව ප්‍රතිමා තැන්පත් කොට කෝවිල ඉදි කොට පූජාවන් පැවැත්වූහ.


මේ සම්බන්ධයෙන් විරෝධතා මතු වීමත් සමඟම එම ස්ථානයේ කෝවිලක් සාදා ගැනීමට අවසර දෙන මෙන් ඉල්ලා උද්ඝෝෂණය පවත්වා තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම අවසරය ලබා දී තිබේ.


මුලින් මේ පිරිස කියා සිටියේ මෙම ස්ථානයේ නිධානයක් ඇති බවත් එය දකුණේ වැසියන් විසින් ගොඩ ගැනීමට උත්සාහ දරන නිසා ආරක්ෂාවට ගම්වැසියන් එම ස්ථානයට ගොස් පහන් දල්වන බවයි. කෙසේ වෙතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මීට වසර ගණනාවකට පෙර මේ ස්ථානය බෞද්ධ නටබුන් සහිත පුරාවිද්‍යා ස්ථානයක් බවට හඳුනාගෙන ඇති අතර එය තහවුරු කිරීමක්ද සිදු කොට තිබේ.


යුද්ධය නිසා එම පළාත්වලට පසුගිය කාලයේදී නිලධාරීන් නොයෑම නිසා එම බෞද්ධ නටබුන් සහිත පුරාවිද්‍යාත්මක ස්ථාන වෙනත් ආගම්වල අයිතියට පත්ව තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon