වෙළෙඳපොළ ගැනුම් මිල පහත වැටීමත් සමඟ තක්කාලි ගොවියන් අසීරුවට පත්වෙයි

  👤  2555 readers have read this article !
By mawbima 2018-09-12

දඹුල්ල - කේ.කේ. ආරියදාස


වෙළෙඳපොළ ගැනුම් මිල පහත වැටීමත් සමඟ දේශීය තක්කාලි ගොවියා දැඩි අසීරුතාවකට පත්ව සිටියි.


මාතලේ දිස්ත්‍රික්කයේ මෙවර තක්කාලි අස්වැන්න ලැබීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි ගැනුම් මිල රුපියල් 10ත් රුපියල් 15ත් අතර පැවැතීම නිසා ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවද බොහෝ ගොවීන් අස්වැන්න නෙළීම අත්හැර දමා එමෙන්ම නෙළුෑ අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව තැන තැන විසි කර දැමීමේ තත්ත්වයට පත්ව ඇති බවද තක්කාලි ගොවීහු පවසති.


මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරිය, දඹුල්ල, ගලේවෙල, පලාපත්වල, පල්ලේපොළ, නාවුල, මහවෙල, රත්තොට, ලග්ගල ආදී ප්‍රදේශවල බහුල වශයෙන් තක්කාලි වගාව සිදුකරනු ලැබේ.
දඹුල්ල වෑවල ප්‍රදේශයේ තක්කාලි ගොවීන් කියා සිටියේ තක්කාලි වගාව අස්වනු නෙළීමට නොහැකිවීම නිසා තක්කාලි ගෙඩි සඳහා රෝගයක්ද පවතින බවයි. එම රෝගය සඳහා අවශ්‍ය ප්‍රතිකාර කිරීම හෝ මුදලක් ලබාගැනීමට තක්කාලි වගාවෙන් නොහැකි වී ඇති බවද කියති.


තක්කාලි වගාව කර ඇති ඇතැම් ගොවීන්ගේ නිවෙස් ඉදිරියේ තක්කාලි විශාල වශයෙන් ඉවත දමා ඇති අයුරුද එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.
ගොවීන් කියා සිටියේ අලෙවි කිරීමට නොහැකි තක්කාලි තොග මෙසේ ඉවත් කරන බවය. එමෙන්ම සියුම් පලුදු තත්ත්වයක් පැවැතියහොත් ඒවාද රැගෙන නොගොස් ඉතාම ඉහළ මට්ටමේ පවතින තක්කාලි ගෙඩි පමණක් කඩා වෙළෙඳපොළට රැගෙන යන බවද ඔවුහු පවසති.


මේ දිනවල තක්කාලි කිලෝවක් රුපියල් දහයකට අලෙවි වෙද්දී තක්කාලි අස්වැන්න නෙළීම සඳහා කුලී කම්කරුවකුට දිනකට රුපියල් 1,500ක මුදලක් වැය වෙන බවත් එම ශ්‍රමිකයාගේ වැටුප් ගෙවීම සඳහා පමණක් තක්කාලි කිලෝ 150ක ප්‍රමාණයක් අවශ්‍ය බවත් ඒ නිසා බොහෝ දෙනා තම තමන්ගේ මහන්සියෙන් එදිනෙදා වියදම් සඳහා තක්කාලි අස්වැන්න නෙළාගෙන වෙළෙඳපොළට රැගෙන යන බව තක්කාලි ගොවීහු පවසති.


තක්කාලි වගා කිරීම සඳහා අති විශාල පිරිවැයක් ගොවීන්ට දරන්නට සිදුව ඇති බවද ඔවුහු පෙන්වා දෙති. බිම් සැකසීම, බීජ තවාන් දැමීම මෙන්ම තක්කාලි වගාව සඳහා අවශ්‍ය තෙල්, පොහොර, පැළ සිටුවීම, වල් ඉවත් කිරීම, විශාල වශයෙන් රසායනික ද්‍රව්‍ය වෙනුවෙන් ආදී අති විශාල මුදලක් වියදම් කොට අවසානයේදී තම අස්වැන්න විසි කර දැමීමට සිදු වීම නිසා දැඩි අපහසුතාවකට පත්ව ඇති බව දඹුල්ල වෑවල ප්‍රදේශයේ තක්කාලි ගොවීහු පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon