වංචා හා දූෂණ නිසා ඉන්ධන මිල ඉහළ ගියා

  👤  2580 readers have read this article !
By mawbima 2018-09-12

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ


මිල සූත්‍රයට අනුව කියා ඉන්ධන මිල ඉහළ දැමුවේ ඛනිජ තෙල් සංස්ථාවේ පවතින වංචා දූෂණ නිසාවෙන් යැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
එහි සභාපති රංජිත් විතානගේ මහතාගේ අස්සනින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.


ජනතාව කිසිම දිනක දැක නැති හා ජනතාවට බලා ගැනීම සඳහා ඉදිරිපත් කර නැති ඉන්ධන මිල සූත්‍රය නමැති ගෝනිබිල්ලා ඉදිරියට දමමින් එක් රැයකින් ඉන්ධන මිල ඉහළ දැමුවේ ඛනිජ තෙල් සංස්ථාවේ මේ වන විට සිදුවන මහා පරිමාණ වංචා හා දූෂණ නිසාවෙන් බව තම සංවිධානය වෙත දැනගැනීමට ලැබී ඇති බවත් ඇමැතිවරයාගේ නෑදෑ හිතවතුන් විසින් මේ වන විට ඛනිජ තෙල් සංස්ථාව පාලනය කරනු ලබන අතර ඔවුන් හිතුමතේ ඛනිජ තෙල් සංස්ථාවේ මුදල් කාබාසිනියා කර දමමින් සිටින බව පවසන එම ව්‍යාපාරය එයට ආසන්නතම උදාහරණය ලෙස 1996 ලෝක කුසලානය දිනාගත් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ඇමැතිවරයා භෝජන සංග්‍රහයක් පැවැත්වීම පෙන්වා දෙනු ලබයි.


තවද ඛනිජ තෙල් පිරිපහදුවේ අතුරුපලයක් ලෙස ඉවත් කරනු ලබන දැවි තෙල් සඳහා වෙනත් රසායනික යොදා අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් තෙල් සංස්ථාව තුළ ක්‍රියාත්මක බවත් මීට මාස කිහිපයකට පෙර එසේ කලවම් කරන ලද තෙල් අඩංගු බවුසර් දෙකක් අත්අඩංගුවට ගෙන නියමිත පරීක්ෂණවලින් පසුව එම බවුසර් දෙකේ අඩංගු දැවි තෙල් නැවත සපුගස්කන්ද පිරිපහදුව වෙත යැවීමට නියෝග කරනු ලැබුවත් විමර්ශන අංශයේ සේවයේ නියුතු ඇමැතිවරයාගේ සමීප නෑයකුගේ මැදිහත්වීම මත එම බවුසර් දෙක නැවත හිමිකරුවන් වෙත නිකුත් කර ඇතැයි පැවැසේ.


ඛනිජ තෙල් සංස්ථාවේ සිදුවන වංචා හා දූෂණ නිසා සමස්ත ඉන්ධන පාරිභෝගිකයන්ට වන්දි ගෙවීමට සිදුවීමත් රජය මේ පිළිබඳව කිසිම ක්‍රියාමාර්ගයක් නොගැනීමත් කනගාටුදායක සිදුවීමක් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon