වකුගඩු රෝගයෙන් පීඩාවට ලක්වූවන්ට රු.මිලියන දහයක වන්දි ඉල්ලා නඩු

  👤  2626 readers have read this article !
By mawbima 2018-09-12

නාච්චාදූව - කිත්සිරි වනසිංහ, අනුරාධපුර - වික්‍රම රළපනාව


අසූ දහස ඉක්ම වූ ලංකාවේ වකුගඩු රෝගීන් හා මියගිය 25,000ක් පමණ වන වකුගඩු රෝගීන් වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන් හට අවම වශයෙන් රුපියල් මිලියන දහයක වන්දියක් ඉල්ලා නඩු පැවරීමට රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන සහ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. එම්. චන්ද්‍රසේන යන මහත්වරුන් ප්‍රධාන නීතිවේදීන් පිරිසක් කටයුතු යොදා ඇතැයි 10 වැනිදා පස්වරුවේ අනුරාධපුර පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.


මාධ්‍ය හමුවට මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා සහභාගි වූහ. මාධ්‍ය හමුව චන්ද්‍රසේන මන්ත්‍රිවරයාගේ අනුරාධපුර කුරුන්දන්කුලම පිහිටි නිවෙසේදී පැවැත්විණි.


ලංකාවේ මොන්ටැන්සෝ සමාගමේ සෘජු නියෝජිතයාත්, ග්ලයිෆොසෙට් සහ ඊට අදාළ රසායනික ද්‍රව්‍ය ලංකාවට ගෙන ආ බහුජාතික සමාගම් දෙක සහ තම රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කිරීමට නියමිත බව චන්න ජයසුමන මහතා පැවැසීය.


මාධ්‍ය හමුවේදී මහාචාර්යවරයා වැඩිදුරටත් මෙසේ පැවැසීය.


පසුගිය අවුරුදු කිහිපයක කාලය තුළ රටේ වකුගඩු රෝගී තත්ත්වය යටපත් වෙලා තිබෙනවා කියා මතයක් පැතිරී තිබුණා. ඊට හේතුව මාධ්‍යවලින් ඒ පිළිබඳව කතා කිරීම අඩුවීමයි. නමුත් අපිට අලුතින් ලැබී තිබෙන සංඛ්‍යා ලේඛන අනුව පැහැදිලි වෙනවා වකුගඩු රෝගය පැතිරීමේ කිසිම අඩුවක් වෙලා නෑ කියා. සංඛ්‍යා ලේඛන අනුව කිව්වොත් 2016 වසරේ පමණක් රෝගීන් 3652ක් වාර්තා වෙලා තිබෙනවා. 2017 වසරේ රෝගීන් 3428ක්, ඒ වගේම මේ වසරේ අගෝස්තු 31 වන විට අලුත් රෝගීන් 1332ක් වාර්තා වෙලා තිබෙනවා. ඒ අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවලින් පමණයි. මේ පිළිබඳව රජය නිසි සංඛ්‍යා ලේඛන හෙළිදරව් කරන්නේ නැති නිසා තමයි අපි මේ පිළිබඳව කියන්නට හිතුවේ. දළ වශයෙන් ගත්තොත් එක දිනකට උතුරු මැද පළාතින් පමණක් කෘෂිකාර්මික වකුගඩු රෝගීන් 06 දෙනකු වාර්තා වෙනවා. නමුත් රජයක් වශයෙන් මේ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව අපට වෛද්‍යවරුන් හැටියට සතුටු වන්නට බෑ. විශේෂයෙන්ම විවිධ රසායනික ද්‍රව්‍ය තහනම් කළාට ඒ තහනම නිසියාකාරව ක්‍රියාත්මක වුණේ නෑ.


ඇමරිකා එක්සත් ජනපදයේ සැම්බැතිස්කෝ අධිකරණයෙන් නඩු තීන්දුවක් දුන්නා එහි පිළිකා රෝගියකුට ලංකාවේ අප විසින්ම තහනම් කිරීමට ලක් කරපු ඒ වගේම නුසුදුසුයි කියපු රසායනික ද්‍රව්‍යයක් භාවිත කිරීම නිසා රෝගියාට රුපියල් කෝටි 4600 වන්දි මුදලක් ගෙවන්න කියලා ඒ අධිකරණය තීන්දුවක් ලබාදුන්නා. අප මේ පිළිබඳව ලංකාවේ නීතිවේදීන් සමඟ සාකච්ඡා කළාට පසුව දැනගන්නට ලැබුණා ඒ සමාගමේ ඍජු නියෝජිතයෙක් අපේ රටේ සිටිනවා, ඒ නිසා අපට ලංකාව තුළ නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නට පුළුවන්කම තිබෙනවා කියා.

මේ පිළිබඳව අපි රෝගීන්, විවිධ නිලධාරීන් දේශපාලන නායකයන් සමඟ කතා කළා. ඉදිරියේ අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල සිටින වකුගඩු රෝගීන් යම් ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා මේ වන විට එහි මූලික කටයුතු සූදානම් කරළ තිබෙනවා. ලංකාවේ සිටින ප්‍රකට නීතිවේදීන් කීහිප දෙනකු කිසිදු මුදලක් අය නොකර අසරණ රෝගීන් වෙනුවෙන් නීතිමය කටයතු කරන්නට මේ වන විටත් අපි සමඟ කටයුතු සකස් කරමින් සිටිනවා, ඉදිරියේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය සහ පදවිය ප්‍රදේශවල රෝගීන් පිරිසක් සම්බන්ධ කරගෙන මෙම නීතිමය ක්‍රියාමාර්ගය ගන්නට සියලු දෙනාට අධිකරණයට යන්නට බැරි තරම් රෝගීන් ප්‍රමාණයක් සිටිනවා. අපිට දැන් තිබෙන සංඛ්‍යා ලේඛන අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් වකුගඩු රෝගීන් 44,000ක් සිටිනවා. ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රෝගීන් 18,000ක් සිටිනවා. ශ්‍රී ලංකාව පුරා කෘෂිකාර්මික වකුගඩු රෝගීන් 80,000ක් ඉක්මවා සිටින බවට සංඛ්‍යා ලේඛන තමයි අප සතුව තිබෙන්නේ. මියගිය රෝගීන් ගණන 25,000ක් පමණ වන බවට වාර්තා වෙනවා. අඩුම තරමේ එක රෝගියකුට රුපියල් මිලියන දහයකවත් වන්දියක් ලැබෙයි කියන බලාපොරොත්තුව අප සතුව තිබෙනවා.


මෙහිදී අදහස් දැක්වූ එස්.එම්. චන්ද්‍රසේන මහතා, අව්ව වැස්ස පින්න නැතිව මේ රට වෙනුවෙන් පෙනී සිටින ගොවි ජනතාවට සිදුව තිබෙන අසාධාරණය වෙනුවෙන් ආණ්ඩුවත් පෙනී සිටිය යුතුයි. ආණ්ඩුවත් අපේ පැත්ත ගනියි කියා අපි විශ්වාස කරනවා. මෙම රෝගය හේතුවෙන් මිය ගිය පවුල්වල යැපෙන්නන් මේ වන විටත් විශාල වශයෙන් අසරණ තත්ත්වයට පත්ව සිටිනවා. ඒ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය ඔවුන්ගේ සෞඛ්‍ය ගැටලු දිනෙන් දින උග්‍ර වෙනවා. ඒ නිසා මොවුන් හට සහනයක් සැලසීම මෙම නඩුවේ අරමුණ වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon