විවාහයට දින 4ක් තිබියදී පිටකොටුවේදී අතුරුදන් වූ තරුණයා දින 8කට පසු දෙහිවලින් මතුවෙයි

  👤  2699 readers have read this article !
By mawbima 2018-09-12

කොළඹ - එම්.සී. පෙරේරා


විවාහ මංගල්‍යයට දින හතරක් තිබියදී පිටකොටුවේදී අතුරුදන් වූ මතුගම ඉන්ජිනේරු තරුණයා දින අටකට පමණ පසු ඉරිදා (09දා) දෙහිවල පොලිසිය වෙත පැමිණ ඇතැයි බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය කියයි.


මතුගම ඕවිටිගල ප්‍රදේශයේ පදිංචි තේනුක රුචිරංග විතාන (30) නම් තරුණයකු මෙලෙස අතුරුදන්ව සිට ඇත.


පෞද්ගලික සමාගමක මෘදුකාංග ඉන්ජිනේරුවරයකු ලෙස රැකියාව කරන තරුණයා ඉකුත් 06 වැනිදා විවාහ වීමට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර තිබියදී ඉකුත් 02 වැනි දින අවශ්‍යතාවක් සඳහා කොල්ලුපිටියට පැමිණ ඇතැයි පොලිසිය කියයි.


ඔහු එදින රාත්‍රි කොළඹ ප්‍රදේශයේ ඉස්තරම් ස්ථානයකින් කොණ්ඩය කපාගෙන අනතුරුව පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම්. කුටියකින් රුපියල් විසිහත් දහසක මුදලක් ලබාගෙන නැවත මතුගම යෑම සඳහා පිටකොටුව පෞද්ගලික බස් නැවතුම්පොළට රාත්‍රි හතට පමණ පැමිණි බව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.


කොළඹ සිට මතුගම බලා ධාවනය වීමට නියමිතව තිබූ සුඛෝපභෝගී බස් රථයකට ගොඩ වී මඳ වේලාවක් ගත වෙද්දී අධික පිපාසයක් දැනුණු හෙයින් ඔහු එම බස් රථයෙන් බැස තිබූ බව පොලිසිය කියයි.
කොළඹ ගිය සිය පුතු නැවත පැමිණියේ නැති බව පවසමින් තරුණයාගේ පියා මතුගම පොලිසියට එදිනම පැමිණිලි කර තිබිණි.


ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී ඉන්ජිනේරු තරුණයාට දුරකථන සමාගමින් දී තිබූ ජංගම දුරකථනය මතුගම, කොළඹ බස් රථයේ අසුනක් යට වැටී තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.


එම තරුණයා දෙහිවල පොලිසියට පෙරේදා (09දා) පැමිණෙන විට ඔහුගේ මුදල් පසුම්බිය හා පෞද්ගලික දුරකථනය අස්ථාන ගත වී තිබූ අතර ඔහු කොට කලිසමකින් සැරසී සිට ඇතැයි පොලිසිය කියයි.


මඳක් සිහි මඳ ගතියක් පෙන්නුම් කරන තරුණයාගෙන් කළ මූලික ප්‍රශ්න කිරීමේදී සිදුවූ දෙයක් පිළිබඳ මතකයේ නැතැයි පැවැසුවේ යැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඉන්ජිනේරු තරුණයා හා පිටකොටුවේදී හිතවත් වූ යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් ඔහුට යම් වස මිශ්‍ර බීමක් හෝ කෑමක් ආහාර සඳහා දීමෙන් පසු ඔහුට අධික පිපාසයක් ඇති වී සිහි මඳ ගතියෙන් බස් රථයෙන් බැසීමෙන් පසු ඔහුගේ දේපළ කොල්ල කන්නට ඇති බව බොහෝ දුරට සැක කළ හැකි යැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.


දෙහිවල පොලිසියට පැමිණි තරුණයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය පරීක්‍ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon