අක්මීමණ සභාවේ පො.ජ.පෙ. මන්ත්‍රිවරු විරෝධතාවක

  👤  2504 readers have read this article !
By mawbima 2018-09-12

මාපලගම - රසික සෙනවිරත්න


ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සඳහා පළාත් පාලන ආයතන නියෝජනය කරන එක් දේශපාලන පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් එක් මහජන නියෝජිතයකු පමණක් සහභාගි කරවීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් නිකුත් කොට ඇති චක්‍රලේඛයට විරෝධය දක්වා අක්මීමණ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු පෙරේදා (10දා) පස්වරුවේ අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළදී විරෝධතාවක නිරත වූහ.


අක්මීමණ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පසුගිය 10 වැනිදා පස්වරුවේ එම කමිටුවේ සම සභාපති විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ.


විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රිවරයා සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා සහභාගි වීමට පැමිණි අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු ශ්‍රවණාගාරයට ඇතුළු වන පඩිපෙළ මත වාඩිවී මෙසේ විරෝධතාවයේ නිරත වූහ. මෙහිදී මන්ත්‍රිවරයා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවිය. පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු මඟ හරස් කරමින් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සහභාගිවීමට යෑමට විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රිවරයාට ඉඩ නුදුන්හ. කෙසේ වුවද විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රිවරයා සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ගොස් එම රැස්වීම ආරම්භ කිරීමට සූදානම් වීමත් සමඟ සටන් පාඨ ලියූ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් එම රැස්වීමට කඩාවැදුණු පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු සිය විරෝධය පළ කරනු ලැබීය.


සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රිවරයා,
මහත්වරුන් වගේ වාඩි වෙන්න. විනයගරුකව හැසිරෙන්න. වක්‍රලේඛය ගැන අවබෝධයක් නැද්ද? තමුන්නාන්සේලාගේ නායකයන්ට කියන්න මේ ගැන පාර්ලිමේන්තුවේදී කතා කරන්න කියලා. මමත් සහයෝගය දෙන්නම්. මහත්වරුන් වගේ හැසිරෙන්න.


අක්මීමණ ප්‍රදේශීය සභාවේ සභාපති සේන කළහෙවත්ත මහතා,
මේ ගැන මන්ත්‍රිවරුන්ට ගැටලුවක් තියෙනවා. අක්මීමණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොට්ඨාස 16ක මන්ත්‍රිවරු නියෝජනය කරනවා. නමුත් මෙම චක්‍රලේඛය අනුව සහභාගි වෙන්න පුළුවන් එක් පක්ෂයකින් එක් මන්ත්‍රිවරයකුට පමණයි. මේකද යහපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදය?


එසේ ප්‍රකාශ කරමින් සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පිටව ගියහ.
දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා -


මේ චක්‍රලේඛය ගැන පළාත් පාලන ආයතනවල මන්ත්‍රිවරුන්ගේ විරෝධය ඉහළට දැනුම් දීලා මේ ගැටලුව විසඳන්න ඔබතුමා මැදිහත් වෙන්න. චක්‍ර ලේඛය වෙනස් කරන්න කියන්න.
සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රිවරයා,


මන්ත්‍රිවරු නීතිගරුකව හැසිරෙන්න ඕන. මේ චක්‍රලේඛය පළාත් පාලන ආයතන 333ට ලබාදීලා තියෙනවා. මේ චක්‍රලේඛය මට වෙනස් කරන්න බැහැ. මේ ගැන ඒ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුව තුළ විවාදයක් ඉල්ලා චක්‍රලේඛය වෙනස් කරන්න යම්කිසි ක්‍රමවේදයක් හදන්න ඕන. යම් අපහසුතාවක් වූවා නම් මා කනගාටු වෙනවා. සම්බන්ධීකරණ කමිටුව සංවර්ධන කටයුතු ගැන සමාලෝචන කරන තැනක්. මගේ මන්ත්‍රිවරුන් 07 දෙනකුටත් අවස්ථාව නැති වෙලා තියෙනවා. විනයක් තියෙන්න ඕන විරෝධතා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. අභියෝගවලට මුහුණ දෙන්න මට පුළුවන්. විරෝධතාවයෙන් පසු මන්ත්‍රිවරයා සම්බන්ධීකරණ කමිටු රැස්වීම පවත්වාගෙන යනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon