විෂ කිරි පැකට් උද්ඝෝෂකයන්ට දීමෙන් යූඑන්පිය කළේ එල්ටීටීඊයටත් වඩා තිරිසන් වැඩක්

  👤  2645 readers have read this article !
By mawbima 2018-09-12

වස යෙදූ කිරි ලබා දුන් මෙම ආණ්ඩුව තිරිසන් තත්ත්වයටම ඇද වැටුණු බවත් ලොව ම්ලේච්ඡතම ත්‍රස්තවාදී සංවිධානය වූ කොටි සංවිධානයවත් මෙවැනි ක්‍රියා සිදු නොකළ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි.

මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ පෙරේදා (10දා) එම පක්ෂ කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
ගම්මන්පිල මහතා මෙසේද පැවැසීය.


වස යෙදූ කිරි පැකට් උද්ඝෝෂකයන්ට බෙදීම මෙරට දේශපාලන ඉතිහාසයේ සිදු වුණු තිරිසන්ම කාරණය විධියටයි අපි දකින්නේ. ලෝකයේ බිහි වුණු ම්ලේච්ඡතම ත්‍රස්තවාදී සංවිධානය ලෙස සැලකුණේ කොටි සංවිධානයයි. නමුත් කවදාවත් කොටි සංවිධානයවත් මෙවැනි දෙයක් කළේ නෑ. කොටින් මාවිල්ආරු සොරොව්ව වහලා ජනතාවට වතුර නැති කළ බව ඇත්තයි. නමුත් කොටි වැව් ජලයට වස මුසු කරලා සිංහල ජනතාව මරා දාන්න කටයුතු කළේ නෑ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ම්ලේච්ඡත්වයෙන් කොටි සංවිධානයටත් වඩා පහත් තැනකට වැටිලා කියන එක ඉතාම කනගාටුවෙන් වුණත් කියන්න ඕනෑ. මේ ආණ්ඩුවේ සමහර මැති ඇමැතිවරුන්ගේ අමන හැසිරීම නිසා ගම්වල ඉන්න වැදගත් එක්සත් ජාතික පාක්ෂිකයකුට පාරට බහින්න බැරි තත්ත්වයක් ඇති වී තිබෙන බව කියන්න ඕනෑ. මම හිතන්නේ නෑ ශිෂ්ටත්වය හඳුනන කිසිම කෙනෙක් මෙය අනුමත කරයි කියලා.


සාක්ෂිය වන්නේ කිරි පැකට් බීලා පිරිසක් අසනීප වුණා කියන කාරණය අපටත් කලින් මුජිබර් රහාමාන් මන්ත්‍රිතුමා දන්නේ කොහොමද? ඕකට තමයි හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ.


දැන් අපට ඊටත් වඩා ප්‍රබල සාක්ෂි ලැබී තිබෙනවා. මෙම කිරි පැකට් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කළ එක් වෑන් රථයක් ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් බවට ලොතරැයි මණ්ඩලයෙන්ම අපට සාක්ෂි ලැබී තිබෙනවා. එන්.ඩී. 3094 ලියාපදිංචි අංකය දරන ලොතරැයි මණ්ඩලයේ වෑන් රථය එදා දවසේ ක්‍රියාකාරී අධ්‍යක්ෂගේ රාජකාරි සඳහා මුදා හැරිය බවට ධාවන සටහන් අනුව පේනවා. මේ වාහනේ ධාවන සටහන් අනුව එය සිරිකොතට ගිහින් කිරි පැකට් පටවා ගෙන ඇවිත් උද්ඝෝෂණය පැවැති ස්ථාන කරා පැමිණි බව ඔප්පු වෙනවා.

මෙම වෑන් රථය තුළ කිරි හැලිලා ඉරිලා තිබුණු බවට මේ වීඩියෝ පටයෙන් පෙනී යනවා. ඒ වාහනය සර්විස් කරන්න යැවූ බවටත් අපට තොරතුරක් තිබෙනවා. 2018 සැප්තැම්බර් මස 05 වැනිදා රියැදුරා විසින් තබලා තියෙන ධාවන සටහන් එදා උදෑසන සිරිකොතට ගිහින් තියෙනවා. මේ රියැදුරා කියන විදිහට එදා උදෑසන 8.45 සිට රාත්‍රි 8.45 දක්වා ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාගේ රාජකාරිවලට මුදා හැරියා කියලා. ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාට වාහනයක් වෙන් කරලා තියෙනවා ලොතරැයි මණ්ඩලයෙන්. සුඛෝපභෝගී වාහනයක් වෙන් කරලා තිබියදී ඇයි ඔහුට මෙම වාහනය මුදා හැරියේ. ඒකෙන් උදේම සිරිකොතට ගිය බවට රියැදුරාම සටහන් තබලා තිබෙනවා. මේ වෑන් රථයේ කිරි තිබිලා ඉහිරුණු දර්ශන මෙම වීඩියෝ පටයේ තියෙනවා. පොලිස්පති මේ පිළිබඳ වහාම අවධානය යොමු කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.


වෙනදානම් ගනු කඩුව එනු සටනට කියලා මාව මෙවැනි අමානුෂීය දේවල් පොලිසිය කරන්න දෙන්නේ නෑ කියලා කඳුළු සලමින් මාධ්‍ය ඉදිරියේ මේ අපේ මවුබිම මෙතරම් පහත් තත්ත්වයට වැටිලාද කියලා මාධ්‍ය ඉදිරියේ කඳුළු සලන පොලිස්පති මේ සම්බන්ධයෙන් දැඩි නිහඬතාවයෙන් පෙන්නුම් කරන්නේ ඔහුට නීතිය නමා ගැනීමට වුවමනාවක් තිබෙන බවයි.
අවුරුදු දෙකක් කලින් ජනපතිවරණය පැවැත්වීමට කටයුතු කරන්න එක්කෝ මහින්දට පිස්සු වෙන්න ඕනෑ. නැති නම් ආණ්ඩුව කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් තිබෙන්න ඕනෑ කියලා ඊයේ අගමැතිතුමා කිව්වා.


ජනපතිවරණයට වසර දෙකක් කලින් ජනාධිපතිට අවශ්‍ය නම් ජනපතිවරණයකට යන්න පුළුවන් කියන තුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ 1982දී, ඒක අනුමත කළ ඇමැති මණ්ඩලයේ රනිල් අගමැතිතුමා හිටියා. එවකට ඔහු අධ්‍යාපන ඇමැති. එහෙම පිස්සු සංශෝධනයකට අත උස්සන්න රනිල් මහතාට පිස්සුද කියලා අපට අහන්න වෙනවා. ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන මහතා වසර දෙකක් කලින් 1982දී ජනපතිවරණය පැවැත්වූයේ ඔහුට පිස්සු නිසාද නැති නම් ආණ්ඩුව කරගෙන යන්න බැරි වුණු නිසාද කියන එක රනිල් මහතා රටට කියන්න ඕනෑ. ඒ වගේම චන්ද්‍රිකා මැතිනිය 1999දීත් මහින්ද මහතා 2010 දීත් ජනපතිවරණ කලින් පැවැත්වූයේ පිස්සු නිසාද?
නුවන් හෙට්ටිආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon