ආණ්ඩු බලය හුවමාරු කරගන්නා

  👤  2602 readers have read this article !
By mawbima 2018-09-12

ෆෙඩරල් පාලන ක්‍රමයකට සිංහල බෞද්ධ ජනතාවට විරුද්ධ වෙන්න විදියක් නැහැ. පෙඩරල් ක්‍රමය මුලින්ම මේ රටට සුදුසුයි කියල 1926දී කිව්වෙ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා යැයි ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් අගලවත්තේදී කීවේය.


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා 20 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය අමතා සුමන්තිරන් මන්ත්‍රිවරයා මෙසේද කීවේය.


සංඛ්‍යාත්මකව බහුතර බලය හැම විටම ප්‍රජාතන්ත්‍රවාදී දැයි ප්‍රශ්න තියෙනවා. එවැනි අවස්ථාවලදී බහුතර බලය සුළුතරය යට පත් කරනවා. මේ නිසා ආණ්ඩු බලය බෙදාහැරිය යුතුයි. බහුතර බලයෙන් සුළුතර මතය යටපත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය කියල පිළිගැනීමට නොහැකියි. මේ රටට ගැළපෙන්නෙ ආණ්ඩු බලය හුවමාරු කර ගැනීමේ ක්‍රමයයි. එකට ෆෙඩරල් කියල කියන්නත් පුළුවන්. මේ ක්‍රමය මුලින්ම මේ රටට හඳුන්වා දුන්නෙ දෙමළ ජාතිකයා නෙමෙයි.


1949දී කන්ද උඩරට දෙමළ ජනතාවගේ පුරවැසිභාවය නැති කළාට පසු දෙමළ දේශපාලන නායකයො බහුතරයේ මතය ප්‍රජාතන්ත්‍රවාදී නැතැයි පිළිගත්තා.


රටක් ලෙස දෙමළ ජනයා සුළුතරයක් වුණත් උතුර නැඟෙනහිර බහුතර බලයක් තිබෙනවා. ආණ්ඩු බලය නිසි ලෙස ක්‍රියාත්මක වෙනවා නම් එහිදී අපට අවශ්‍ය තීරණය ගත හැකියි.
දැනට තිබෙන පළාත් සභා ක්‍රමය තුළ අර්ථවත් ලෙස බලය බෙදා හැරීමක් සිදු වෙන්නෙ නැහැ. ආණ්ඩුකාරවරයා විසින් ජනතා බලයෙන් පත්වූ නියෝජිතයන්ට බලය දෙන්නෙ නැහැ.
මෙවැනි ගැටලු රැසක් තිබෙනවා. ඒවා නිරාකරණය කර ගත යුතුයි. හරියාකාර බලය බෙදීමක් සිදුකර ගැනීමෙන් දෙමළ ජාතික ප්‍රශ්නයට අවසාන වශයෙන් ස්ථිර පිළිතුරක් ලබාගත හැකියි.


ප්‍රධාන පක්ෂ දෙකක් එකතුවෙලා ඉන්න මේ අවස්ථාවේදී අපිත් අපේ එකඟතාව දෙන්න පුළුවන් කියන මොහොතක අවසාන වශයෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවිය යුතුයි කියන මතයේ අපි සියලු දෙනාම ඉන්නවා. රටක් ලෙස ඉදිරියට යෑමට හැකි එසේ කළොත් පමණයි.


දැනට දෙමළ ජනතාව කැමැත්ත ප්‍රකාශ කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ රටේ නැහැ. එම නිසා දැන් අපේ ජනතාව මේ සඳහා සූදානම්. එක රටක ජීවත්වීමට එකඟතාව තිබෙනවා. ඒ නිසා ආණ්ඩුබලය හුවමාරු කර ගන්නා ක්‍රමයක් ඇති කළ යුතුයි. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැකසීමේදී අපේ සහාය දී තිබෙනවා. ඒක සාර්ථක කරගත්තොත් මේ රටේ දශක ගණනක් තිබුණ වාර්ගික ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදීමට හැකි වෙනවා.
මතුගම - වසන්ත කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon