කොළඹ විරෝධතාවෙන් පසු ජනවරම ඇත්තේ පොහොට්ටුවට බව ඔප්පු වුණා

  👤  2584 readers have read this article !
By mawbima 2018-09-12

'ජන බලය කොළඹට' විරෝධතා ව්‍යාපාරයෙන් පසුව රටේ ජන බලය ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයට බව නැවත වරක් තහවුරු වූ බවත් අවලාද නොනඟා හැකි නම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග පැවැසීය. පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසා සිටින්නේ කොළඹට රැස්වූ ජනතාව දැක දැකත් උද්ඝෝෂණය අසාර්ථක බව කිව හැක්කේ ආණ්ඩුවට කත් අදින කුහකයන් හට පමණක් බවයි.


එම නිවේදනයේ මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.


ඒකාබද්ධ විපක්ෂයේ ජන බලය උද්ඝෝෂණය අසාර්ථක බවට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අපට කනගාටුවක් නැහැ. ගල් ගසන්නේ පළ ඇති රුකට බව අප හොඳින් දන්නවා. කොළඹට රැස් වූ ජනතාව දැක දැකත් උද්ඝෝෂණය අසාර්ථක බව කිව හැක්කේ ආණ්ඩුවට කත් අදින කුහකයන් හට පමණයි. කවුරු කෙසේ කීවත් අද රටේ ජන බලය ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයට බව නැවත වරක් තහවුරු වී තිබෙනවා. අවලාද නොනඟා හැකි නම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස අපි ආණ්ඩුවට අභියෝග කරනවා.


යහපාලන ආණ්ඩුව බලයට පත් වූ 2015 වසරේ සිට ගෙවුණු වසර තුනක කාලය තුළ ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කතාව වෙනස් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ අපට හැකි වුණා. එම කාල සීමාව තුළ ඒකාබද්ධ විපක්ෂය ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව සටන් කළ ආකාරය මෙරට දේශපාලන ඉතිහාසයෙහි රන් අකුරින් සටහන් වනු නිසැකයි.


මහනුවර සිට බලා ආ ජනබලය පා ගමන, කොළඹ ගෝල්ෆේස් ක්‍රීඩාංගණය පිරී ඉතිරී ගිය මැයි රැලිය මෙන්ම ජන බලය කොළඹට උද්ඝෝෂණයද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරටු කර ගත් ජනතාවාදී බලවේගයේ ශක්තිය ලොවට මැනවින් පැහැදිලි කරන්නට සමත් වුණා. අද රටම එක හ¾ඩින් කියා සිටින්නේ ජන බලයක් නොමැති ආණ්ඩුව ගෙදර යා යුතු බවයි.


පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතත් අප කළ සටන් නිසා ආණ්ඩුවේ අවසානය ආරම්භ වී තිබෙනවා. ජන මතයට හිස නමා ගෙදර යන්නැයි අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එසේ නොවුණහොත් තවත් වැඩි දිනක් යන්නට මත්තෙන් ආණ්ඩුව ගෙදර යැවීමට අප කටයුතු කරන බව ජාතියේ නාමයෙන් දිවුරා ප්‍රකාශ කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon