හෝර්ටන්තැන්නේ දඩමස් ජාවාරම් කළ සිවුදෙනකු ගිනි අවිත් සමඟ අත්අඩංගුවට

  👤  2617 readers have read this article !
By mawbima 2018-09-12

සපුමල් ජයසේන


ඉහළ කඳුකරයේ පිහිටි ලෝක උරුමයක් වූ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළ කලක සිට කරගෙන ආ මහා පරිමාණ දඩමස් ජාවාරමක් වැටලූ වනජීවී නිලධාරීන්ට ගිනි අවි, මරා දමන ලද සතුන් සහ මස් සමඟ සැකකරුවන් සිවු දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.


ලැබුණු තොරතුරකට අනුව ඊයේ (11දා) අලුයම කළ වැටලීමකදී මෙම සිවු දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝර්ටන්තැන්න වනෝද්‍යානය තුළ ඔහිය ප්‍රදේශයේදීය. මරා දමන ලද සතුන්ගේ සිරුරු කොටස්, දඩමස්, ගිනි අවි, අධිබල විදුලි පන්දම්, ජංගම දුරකථනද ඒ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.


මොවුන් කලක සිටම හෝර්ටන්තැන්න වනෝද්‍යාදනයේ සිටින හොඳින් වැඩුණු ගෝනුන්, මුවන් වැනි සතුන් මරා මස් නුවරඑළිය ප්‍රදේශයේ ඇති ප්‍රසිද්ධ සංචාරක හෝටලවලට අලෙවි කිරීමට ගෙන ගොස් ඇතැයි වනජීවී නිලධාරීහු සඳහන් කරති.


මෙම ජාවාරම්කරුවන් බොරලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. ඔවුන් ඊයේ (11දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ අටක ශරීර ඇප මත මුදා හරින ලෙස වැලිමඩ මහෙස්ත්‍රාත් නදීරා බෝගහවත්ත මහත්මිය නියෝග කර තිබේ.


හෝර්ටන්තැන්න උද්‍යාන භාරකරු ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් මත හෝර්ටන්තැන්න වනජීවී වැටලීම් ප්‍රධානී සුනිල් ප්‍රේමකුමාර මහතාගේ මෙහෙයවීමෙන් මෙම ජාවාරමට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් 'මව්බිම'ට ඊයේ (11දා) පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon