මැතිවරණ කල් දැමීමට යහපාලන ආණ්ඩුව හොරගල් අහුලනවා

  👤  2546 readers have read this article !
By mawbima 2018-09-12

ආරියරත්න ගනේගොඩ


යහපාලන ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමූ අන්දමට පළාත් සභා මැතිවරණය හා ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් කල්දැමීම සඳහා හොරගල් අහුලමින් සිටිනවා යැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය.


රාජගිරිය, වැලිකඩ වත්තේ එක්සත් ජාතික නිදහස් පෙරමුණ කාර්යාලයේදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, පළාත් සභා මැතිවරණය කල් දැමීම, මහ මැතිවරණය කල් දැමීම සහ මහ මැතිවරණයක් නොපවත්වා පාර්ලිමේන්තුව කල් දැමීමේ සැලසුම පිළිබඳව කරුණු දැක්වීමට මාධ්‍ය හමුව කැඳවා තිබිණි.


මාධ්‍යවේදීන් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෛත්‍රි ගුණරත්න මහතා මෙසේද කීය.


ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු 20 වැනි සංශෝධනයක් ගෙනැවිත් තිබෙනවා. 20 වැනි සංශෝධනයක් අවශ්‍ය නෑ.


බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවත් එම යෝජනාව මුදල් මත එහාට මෙහාට වුණා. ඉදිරියේදී මුදල් වියදම් කරලා ජනාධිපති වෙන්නත් පුළුවන්. මේ සෑම දෙයක්ම සිදුවන්නේ රටේ සියලුම ජාතීන්ගේ කැමැත්ත හා එකඟත්වය අනුවයි. නමුත් එදා අප රටේ ජනතාව තැබූ විශ්වාසය දැන් මැකී ගිහින්. සැප්තැම්බර් 05 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුවේ කණ්ඩායමේ) කොළඹට ජනතාව කැඳවාගෙන පැමිණියත් එදා රජයට එරෙහිව බඩු මිල අඩු කරපන්, තෙල් මිල අඩු කරපන් කියලා එක සටන් පාඨයක්වත් ඉදිරිපත් කළේ නැහැ. වත්මන් රජයට අද විපක්ෂයක් නැහැ. විපක්ෂයක් ලෙස රට තුළ කටයුතු කරන්නේ මාධ්‍ය ආයතන පමණයි.


ටී.එන්.ඒ. එකත් යූඑන්පී ආණ්ඩුව සමඟ ඩීල් දමමින් කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය බලයට පත්වූ දා සිටම එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට ගන්නා ලද සෑම උත්සාහයක්ම ව්‍යර්ථ වුණා. දූෂිතයන් අල්ලා නිසි දඬුවම් ලබාදෙනු යැයි කීවාට දූෂණයට එරෙහිව එකදු නඩුවක් දැම්මේ නැහැ. 2018 පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ආයතන 340කින් 240ක් ජයගනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. දැන් සිටින අගවිනිසුරුවරයා තව මාස කිහිපයකින් විශ්‍රාම යනවා. එම ස්ථානයට නීතිපතිවරයා පත්කොට විශේෂ අධිකරණයක් පිහිටුවා නඩු ඇසීමට අපේක්ෂා කරනවා. රටේ අනෙකුත් අයගේ නඩු ඇසීමට පෙර බැඳුම්කර නඩුව මුලින්ම ඇසිය යුතුයි. රටේ තිබුණු මහපොළ, ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ්. ඇතුළු සෑම අරමුදලක්ම බැඳුම්කරයට ලබාදී තිබෙනවා. ඒ බැඳුම්කර කොමිසමේ සාක්කි දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඇමැති මලික් සමරවික්‍රම කැඳවූ අවස්ථාවේ වත්මන් නීතිපතිවරයා මේ දෙදෙනාට බොහොම කාරුණිකව කටයුතු කර තිබෙනවා. නීතිපතිවරයා සිටින්නේ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමටයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon