එංගලන්තයේ සමුළුවට සහභාගි වන්න අධිකරණය හිරුණිකාගේ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදාහරියි

  👤  2587 readers have read this article !
By mawbima 2018-09-12

කේ.එස්. උදයකුමාර්


දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසලක සේවය කළ තරුණයකු පැහැර ගෙන ගොස් සිරකර තැබූ බවට චෝදනා එල්ල වී සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලික ලෙස ඇය වෙත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා නියෝග කළේය.


හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය වෙත ඉල්ලීමක් කරමින් තම සේවාදායක මන්ත්‍රිවරියට එංගලන්තයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැඩමුළුවකට සහභාගි වීම සඳහා ඇරැයුම් ලැබී ඇති බවත් ඊට අවශ්‍ය වීසා ලබා ගැනීමේ කටයුතු සඳහා දැනට අධිකරණය භාරයේ පවතින ඇයගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.


එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා දැනට අධිකරණය භාරයේ පවතින විත්තිකාරියගේ විදේශ ගමන් බලපත්‍රය ඔක්තෝබර් මස 10 වැනිදා තෙක් මුදාහරින ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.


2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ අමිල ප්‍රියංකර නමැති තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබුවේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon