ගිනි අවි පෙන්වා රු. කෝටි 6ක් මංකොල්ල කෑ සිද්ධියේ සැක පස් දෙනකුට ශරීර ඇප

  👤  2581 readers have read this article !
By mawbima 2018-09-12

තෙල්දෙණිය - කේ. නිශ්ශංක


මහනුවර - මහියංගණය ඒ 26 මාර්ගයේ වෑතලාවදී පසුගිය ජුනි මස 11 වැනිදා දහවල් කාලයේදී ගිනි අවි පෙන්වා බිය ගන්වා මහියංගණය සිට නාරාහේන්පිට පිහිටි පෞද්ගලික බැංකුවකට ගෙනයමින් තිබුණු රුපියල් හය කෝටි පහළොස් ලක්ෂයක පමණ මුදලක් කොල්ලකෑමේ සිද්ධිය පිළිබඳව හා එම සොර බඩු ළඟ තබා ගැනීම පිළිබඳව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් ‍ෙදාළොස් දෙනාගෙන් දෙවැනි, තුන්වැනි, හතර වැනි, එකොළොස්වැනි හා ‍ෙදාළොස්වැනි යන සැකකරුවන් පස් දෙනාට තෙල්දෙණිය මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ශානක කලන්සූරිය මහතා රුපියල් ලක්ෂ දහය බැගින් පිළිගත් ශරීර ඇප නියම කළේය.


සෙසු සැකකරුවන් යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එදින නියෝග කළේය.


පසුගිය ජුනි මස 11 වැනිදා මහිංගණය ප්‍රදේශයේ සිට නාරාහේන්පිට පෞද්ගලික බැංකුවකට ආරක්ෂක නිලධාරීන් හා එම බැංකුවල කළමනාකරුවන් සමඟ පෞද්ගලික වෑන් රථයකින් ගෙන ගිය රුපියල් හය කෝටි පහළොස් ලක්ෂ අසූ හත් දහස් හතළිස් අටයි සත හතළිස් එකක මුදලක් ගෙන යමින් සිටියදී මහනුවර මහියංගණය වෑතලාවදී සන්නද්ධ පිරිසක් ගිනි අවි පෙන්වා බිය ගන්වා මෙම මුදල් මංකොල්ල කා පලා ගොස් තිබිණි.


මෙම මංකොල්ලය පිළිබඳව උදුඩුම්බර පොලිසිය, තෙල්දෙණිය පොලිසිය, පල්ලේකැලේ පොලිසිය හා තවත් විමර්ශන අංශ මඟින් පරීක්ෂණ පවත්වා සිද්ධියට සම්බන්ධ හා සොර බඩු ළඟ තබා ගැනීම පිළිඳව එම සැකකරුවන්ගේ පවුල්වලට සම්බන්ධ සැකකරුවන් ‍ෙදාළොස් දෙනකු අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.


මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ පවුල්වල ඥාතීන් විසින් මිලදී ගන්නා ලද සොර බඩු රැසක් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.


සිද්ධිය පිළිබඳව මධ්‍යම පළාත් විශේෂ විමර්ශන අංශය තවදුරටත් පරීක්ෂණ පවත්වයි.


උඩුදුම්බර පොලිසියේ ස්ථානාධිපති කේ.එන්. කාන්ගර මහතාගේ මෙහෙයවීමෙන් කරන ලද පරීක්ෂණවලින් අනතුරුව මෙම මංකොල්ලයට යොදා ගන්නා ලද වෑන් කිහිපයක්ද සොයාගෙන තිබිණි.


සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සරත් ප්‍රේමකුමාර මහතා, නීතිඥ ස්වර්ණා කරල්ලියද්ද මහත්මිය හා වරුණි යාරත්න මහත්මිය පෙනී සිටියහ.
මධ්‍යම පළාත් විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් සමඟ උඩුදුම්බර පොලිසියේ පොලිස් සැරයන් විජේතිලක (10987) මහතා පරීක්ෂණ මෙහෙය විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon