නාච්චිමලේ නාන්නට ගිය තරුණයකු යතුරුපැදි අනතුරකින් ජීවිතක්ෂයට

  👤  2497 readers have read this article !
By mawbima 2018-09-12

පනාගොඩ -
චම්පා ජීවන්ති


මීපේ - ඉංගිරිය මාර්ගයේ හඳපාන්ගොඩ මංසන්ධියේදී පෙරේදා (10දා) රාත්‍රි 7ට පමණ යතුරුපැදියක් තාප්පයක ගැටී සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනකු පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් තරුණයකු මියගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය පවසයි.


තුවාල ලබා රෝහලට ඇතුළත් කරන ලද අනෙක් තරුණයාගේ තත්ත්වය බරපතළ නොවන බවත් එම තරුණයා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසයි.


මියගිය තරුණයා තවත් මිතුරන් පිරිසක් සමඟින් යතුරුපැදිවලින් ඉංගිරිය නාච්චිමලේ ප්‍රදේශයේ දිය නෑම සඳහා ගොස් නැවත නිවෙස් බලා පැමිණෙන අතරතුර හඳපාන්ගොඩ ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් පුද්ගලයකු යමක් පවසා ඇති අතර එම අවස්ථාවේදී යතුරුපැදිය ධාවනය කරමින් සිටි මියගිය තරුණයා පසුපසට හැරී එම පුද්ගලයාට බැනීමට යෑමේදී එක්වරම යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන අසල තාප්පයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.


මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ අගලවත්ත, යටියන ගුණසේකර මාවතේ පදිංචිකරුවකු වන මද්දගේ මලිත් සත්සර නමැති 18 හැවිරිදි තරුණයෙකි. ඔහු තම මව සමඟ මහරගම පමුණුව ප්‍රදේශයේ රෙදි අලෙවිසලක් පවත්වාගෙන යමින් එම ප්‍රදේශයේ කුලී නිවෙසක පදිංචිව සිට ඇති බවද පොලිසිය පවසයි.


අනතුර සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පාදුක්ක හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය නන්දසේන පන්නිපිටිය මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය අවිස්සාවේල්ල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon