ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජා.නි.පෙ.ට දුන් වාහන අවභාවිතය නඩුව යළිත් ජනවාරි 14 වැනිදා

  👤  2512 readers have read this article !
By mawbima 2018-09-12

අමිල අබේරත්න


පසුගිය ආණ්ඩුව යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබාදී තිබූ වාහන අවභාවිත කළා යැයි කියන සිද්ධියට අදාළව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවරා ඇති නඩුව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා සිහිකැඳවීමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නිකුත් කළාය.


සිද්ධියට අදාළව නඩුව යළි කැඳවූ අවස්ථාවේ නඩුව සම්බන්ධව විමර්ශනයන්ට අදාළ උද්ධෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවත් ඒ පිළිබඳව නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටි අතර ඒ අනුව මහෙස්ත්‍රාත්වරිය නීතිපති උපදෙස් සඳහා සිහිකැඳවීමක් නිකුත් කළාය.


සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකරුවන් දෙදෙනකුට අදාළව පමණක් නීතිපති උපදෙස් ලැබී ඇති බවද මූල්‍ය අපරාධ කොට්ඨාසය නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි පොලිස් නිලධාරියා ප්‍රකාශ කර සිටියේය.


සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකරුවන් වන්නේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල්, ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර, ජාතික නිදහස් පෙරමුණේ වයඹ පළාත් සභා මන්ත්‍රි සේනාරත්න ද සිල්වා සහ ඉකුත් රජය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයට කුලී වාහන සපයන්නකු වශයෙන් සේවය කළ හේමන්ත පෙරේරා යන අයයි. නඩුව ජනවාරි 14 වැනිදා යළි කැඳවීමට නියමිතය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon