රැකියාලාභීන්ගෙන් වංචනිකව මුදල් ගැනීමට තැත් කළ කතුන් තිදෙනෙක් අත්අඩංගුවට

  👤  2486 readers have read this article !
By mawbima 2018-09-12

කොළඹ - එම්.සී. පෙරේරා


එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ වැඩසටහනට සමගාමීව මිනිස්බල හා රැකියා කටයුතු දෙපාර්තමේන්තුව මඟින් රැකියා ලබාදෙන බව පවසා හෝමාගම විහාරස්ථානයකට පැමිණ රැකියාලාභීන්ගෙන් වංචනිකව මුදල් ගැනීමට තැත් කළ කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.


මිනිස්බල හා රැකියා කටයුතු දෙපාර්තමේන්තුවෙන් සොරකම් කරන ලද ලිපියක් යොදා ගනිමින් එකම යොමු අංකය යටතේ මෙම වංචාව සිදුකර ඇති බව පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.


හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් නොමඟ යවා එම නිලධාරීන්ගේද සහාය ලබාගෙන ග්‍රාම නිලධාරීන් මාර්ගයෙන් රැකියා අයැදුම්පත් බෙදා හැර ඇතැයි පොලිසිය කියයි.


එලෙස එක් ග්‍රාම නිලධාරිවරයකුට රැකියා අයැදුම්පත් පහක් ලබාදී ඇතැයි පොලිසිය කියයි. මෙම රැකියා බලාපොරොත්තුව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ තරුණ තරුණියන් 400ක් පමණ දෙනා විහාරස්ථාන ධර්ම ශාලාවට පැමිණ සිටි බව පොලිසිය කියයි. රැකියා බලාපොරොත්තුවෙන් පැමිණෙන අයකුගෙන් අයැදුම්පත් ගාස්තුව ලෙස රුපියල් 300ක් හා අයදුම්පත්‍රය භාරදෙන විට රුපියල් 12,500ක මුදලක් ලබා ගන්නා බවට එම තරුණ තරුණියන් දැනුවත් කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.


පොලිස් භාරයට ගත් එම ලිපි ශීර්ෂ මිනිස් බල හා රැකියා කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ හඳුනාගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය. කිරුළපන ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනාට රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබාදෙන බව පවසා මෙම වංචාව සඳහා යොමුකර ඇති බව පොලිසිය කියයි.
හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ලියනගම මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon