පොලිස් පරීක්ෂක රණසිංහ හා රත්නායක මහත්වරුන් අත වෙපන් තිබුණා

  👤  2660 readers have read this article !
By mawbima 2018-09-12

මීගමුව - නිමන්ති ප්‍රනාන්දු


මුහුණට හා බෙල්ලට පහරවල් කීපයක් වැදී මට තුවාල වුණා. මාව ක්ලිනික් එකකට රැගෙන ගියා. පසුව සීදුව රෝහලට ඇතුළත් කර එහි දින තුනක් නේවාසිකව ප්‍රතිකාර ලබා ගත්තා යැයි කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පැවැති සේවක අයිතිවාසිකම් පිළිබඳ උද්ඝෝෂණයේදී පොලිසියෙන් වෙඩි තැබීම නිසා මිය ගියේ යැයි කියන අයකුගේ සහ බරපතළ තුවාල ලැබූ තවත් අයකුගේ නඩුව මීගමුව මහාධිකරණයේ යළි කැඳවූ අවස්ථාවේ එවකට සීදුව පොලිසියට අනුයුක්තව රාජකාරි කළ දැනට කන්තලේ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස කටයුතු කරන සෙන්න හැන්දිගේ රන්දික කුෂාන් යන අය සාක්ෂි දෙමින් පැවැසීය.


බස්නාහිර පළාත් බද මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා ඉදිරියේ නඩුව විභාග කෙරිණි.


2011 මැයි මස 30 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී මීගමුව අධිකරණ බල සීමාව වන කටුනායකදී රත්නසේකර පෙරුමන්සල් ආචාරිගේ රොෂේන් චානක යන අය වෙඩි තබා මරණය සිදු කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවද හීනටියන මුදියන්සේලාගේ මංගල සම්පත් කුමාර යන අයට මරණයක් සිදුවීමට හැකි වන ලෙස බරපතළ තුවාල ඇති වන සේ වෙඩි තබා දණ්ඩ නීති සංග්‍රහයේ 300 වගන්ති යටතේද වරද කළ බව කියන ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකුට එරෙහිව නීතිපති විසින් චෝදනා ගොනු කර තිබේ.


මෙලෙස චෝදනා ලබා ඇත්තේ එවකට සීදුව පොලිසියේ ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එච්. රත්නායක සහ එහි පරිසර ඒකකයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක ආර්.පී.කේ.එල්. රණසිංහ නමැති නිලධාරීන් දෙදෙනාය.


උප පොලිස් පරීක්ෂක රන්දික මහතා මෙසේද පිළිතුරු දුන්නේය.
ප්‍ර: ඔබ පොලිස් සේවයට බැඳුණේ කවුරුන් වශයෙන්ද?
උ: උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස.
ප්‍ර: කුමන වර්ෂයේද?
උ: 2008 වර්ෂයේ අප්‍රේල් 20 දින.
ප්‍ර: ඔබ සීදුව පොලිසියට සේවයට පැමිණියේ කවදාද?
උ: 2010 ජූලි පස්වැනිදා
ප්‍ර: සීදුව පොලිසියේ ඔබ කොපමණ කලක් සේවය කළාද?
උ: 2014 අගෝස්තු 12 වනතුරු.
ප්‍ර: ඔබ රාජකාරියට පැමිණියේ කොහි සිටද?
උ: පොලිසියේ තනිකඩ නිවාසවල මම පදිංචිව සිටියා.
ප්‍ර: එවකට සීදුව පොලිසියේ නිලධාරීන් කොපමණ සිටියාද කියා මතකද?
උ: 120 ක් පමණ සිටියා.
ප්‍ර: සීදුව පොලිසිය පාලනය වන්නේ කුමන පොලිස් කොට්ඨාසය යටතේද?
උ: මීගමුව ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි යටතේ.
ප්‍ර: 2011 මැයි මස 30 වැනි දින සිදුවූ විශේෂ සිද්ධියක් ගැන ඔබට මතකද?
උ: ඔව්. මතකයි.
ප්‍ර: මොකක්ද සිදුවුණේ?
උ: උද්ඝෝෂණයක්.
ප්‍ර: එය කුමන කාරණයක් කියලා ඔබට කියන්න පුළුවන්ද?
උ: කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයන්ගේ අර්ථසාධක අරමුදල් ක්‍රමය රජය මැදිහත්ව නතර කළා කියලා එයට විරෝධය පෑම සඳහා උද්ඝෝෂණය කළා කියලා දැනගත්තා.
ප්‍ර: ඔබ මේ සිද්ධියට රාජකාරියට සම්බන්ධ වුණාද?
උ: ඔව්. සිද්ධියට දින දෙක තුනකට පෙර සම්බන්ධ වුණා.
ප්‍ර: සිද්ධිය කියලා කීවේ කුමක් ගැනද?
උ: මැයි මස 11 දින පැවැති ප්‍රධාන උද්ඝෝෂණය ගැන.
ප්‍ර: ඔබට මෙයට සම්බන්ධ වීමට නියෝග ලැබී තිබුණාද?
උ: ඔව්. මීගමුව ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිතුමාගෙන්.
ප්‍ර: ඔබ කුමන ස්ථානවල සේවය කළාද?
උ: කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගයේ 18 කණුව අසල.
ප්‍ර: ඔබ රාජකාරි වශයෙන් කළේ කුමක්ද?
උ: අලුත් මං තීරුවක් ඇති කරලා වාහන යැව්වා. තදබදය අඩුකිරීමට අතුරු පාරවල්වලින්ද වාහනවලට යෑමට කටයුතු කළා.
ප්‍ර: 18 කණුව අසල තවත් සිදුවීම් වුණාද?
උ: කැරැලි මර්දන කණ්ඩායම් යොදවා තිබුණා.
ප්‍ර: සීදුව පොලිසියට ආසන්නව මෙම සිද්ධියට සම්බන්ධව ආයතනයක් තියෙනවාද?
උ: ඔව්.
ප්‍ර: එය කුමක්ද?
උ: බ්‍රැන්ඩෙක්ස් ආයතනය
ප්‍ර: පොලිසියේ සිට කුමන දුරකින්ද එය පිහිටා ඇත්තේ?
උ: මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ එය තියෙන්නේ. පොලිසියට කි.මී. භාගයක් පමණ දුරින්.
ප්‍ර: මොන පොලිස් වසමේද?
උ: සීදුව පොලිස් වසමේ.
ප්‍ර: 2011 මැයි මස 11 දින ඔබට ජේ‍යෂ්ඨ නිලධාරීන්ගෙන් ලැබී තිබුණ නියෝග මොනවාද?
උ: හදිස්සි කැඳවීමක් ලැබුණොත් සූදානම්ව සිටින ලෙස අපට දන්වා තිබුණා.
ප්‍ර: ඔබ සූදානම්ව සිටියද?
උ: ඔව්. මගේ කාමරය තුළ සූදානම්ව සිටියා.
ප්‍ර: ඔබ මෙදින උදේ වරුවේ කුමන රාජකාරියක්ද කළේ?
උ: උදේ 7ට නිලධාරි 50ක් පමණ පිරිසක් සමඟ කොළඹ ප්‍රධාන මාර්ගයේ සිට විවිධ රාජකාරි කර 11.30ට පමණ පොලිසියට ආවා.
ප්‍ර: එවකට සීදුව පොලිසියේ ප්‍රධානියා කවුද?
උ: පොලිස් පරීක්ෂක රණසිංහ මහතා පාලන අංශය භාරව සිටියා.
ප්‍ර: ඔබට මේ අවස්ථාවේ දැනගන්න ලැබුණු විශේෂ දෙයක් තිබුණාද?
උ: ඔව්. කටුනායක පොලිසියට වට කරලා ගහනවා. පොලිසිය කුඩු කරලා කියලා දැනගන්න ලැබුණා.
ප්‍ර: ඔබ මෙවැනි තත්ත්වයක් ඇති වුණොත් සූදානමින්ද සිටියේ?
උ: ඔව්! අපි යුනිෆෝම් පිටින් සිටියේ හෙල්මට් අතැතිව.
ප්‍ර: ඔබ මොනවද කළේ?
උ: අපේ නිලධාරි කණ්ඩායම වාහන දෙකකට නැග්ගා. ර්ණීධ්ඛ් මහත්තයා හිටිය රථයට මමත් නැග්ගා.
ප්‍ර: ඔබ මොනවද ගෙන ගියේ.
උ: බැටන්, වෙපන්, හෙල්මට් ගෙන ගියා.
ප්‍ර: ඔබ සන්තකයේ මොනවාද තිබුණේ?
උ: බැටන් එක, හෙල්මට් එක, වෙපන් එක.
ප්‍ර: කටුනායක පොලිසියට පහර දෙනවා ඔබ දැක්කාද?
උ: කටුනායක පොලිසිය දෙසට විශාල පිරිසක් ගල් පහර ගහනවා දැක්කා.
ප්‍ර: ඔබ එහි සිටි ජේ‍යෂ්ඨ නිලධාරීන්ව දැක්කද?
උ: ඔව්. ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ගලප්පත්ති මහතා හිටියා. පොලිස් පරීක්ෂක රණසිංහ හා රත්නායක මහත්වරුන් අත වෙපන් තිබුණා.
ප්‍ර: පොලිසියට අමතරව වෙනත් නිලධාරීන් සිටියද?
උ: ඔව්. සිටියා. විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිටියා.
ප්‍ර: ඔවුන් ආයුධ අතැතිවද සිටියේ?
උ: ටී - 56 ගිනි අවි ඔවුන් ළඟ තිබුණා.
ප්‍ර: මේ වෙලාවේ පොලිස් භූමියේ තත්ත්වයේ කුමක්ද?
උ: පොලිස් නිලධාරීන් පොලිස් භූමිය තුළ පිරෙන්න සිටියා. හාරසියයක් පමණ.
ප්‍ර: වෙඩි තබන හඬ ඇසුණද?
උ: වෙඩි හඬ කීපයක් ඇසුණා.
කුමන පැත්තෙන්ද කියලා කියන්න බැහැ.
සාක්කිකරුට සිද්ධිය වූ ස්ථාන පිළිබඳ ඡායාරූපද වීඩියෝ දර්ශනද පෙන්වා ප්‍රශ්න කරයි. සාක්කිකරු සිද්ධිය වූ ස්ථාන හා ඡායාරූපවල සිටි පුද්ගලයන් හඳුනා ගනී.
රජයේ ජේ‍යෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා සාක්ෂි මෙහෙයවූ අතර අධි නීතිඥ විශ්ව විජේසූරිය මහතාද ඊට සහාය විය.
විත්තිය වෙනුවෙන් ජේ‍යෂ්ඨ නීතිවරුන් වන හර්ෂ නානායක්කාර, සුමුදු ප්‍රනාන්දු, ඉන්දික සිල්වා සමඟ මහින්ද සුගතදාස, තාරකා කෝදාගොඩ, නිකිණි මාපිටිගම යන නීතිඥ මහත්ම මහත්මීහු පෙනී සිටියහ. නැවත විභාගය සැප්තැම්බර් 17ට කල් තැබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon