මොන්සැන්ටෝ සහ ග්ලයිෆොසේට්

  👤  2631 readers have read this article !
By mawbima 2018-09-12

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසුව මෙරට ජනතාවගේ වත්මන් හා අනාගත යහපැවැත්ම වෙනුවෙන් ගන්නා ලද ඉතාම වැදගත් තීරණයක් ලෙස ඔවුන් විසින් ජනතාවට ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය ප්‍රකාශයන්ට එකඟව කෘෂිකර්මාන්තයේදී වල් නාශකයක් ලෙස භාවිත වන උග්‍ර විස සහිත ග්ලයිෆොසේට් අඩංගු වල් නාශක භාවිතය තහනම් කරන ලදී. නමුත් එය තහනම් කර වසර 3ක් ඉක්ම යෑමට ප්‍රථමයෙන් මෙම වල් නාශකයේ හිමිකාරිත්වය දරන මොන්සැන්ටෝ සමාගමේ දැඩි බලපෑම මත රජයේ නිලධාරීන් හා ආණ්ඩුවේ විෂය භාර අමාත්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් ජනතාවගේ වත්මන් හා අනාගත පැවැත්ම විනාශයට ලක් කරමින් කැබිනට් අනුමැතියකින් තොරව ග්ලයිෆොසේට් තහනම ඉවත් කෙරිණි.

ජනතාව රවටමින් ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම


වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට ප්‍රථම ජනතාවට ඉදිරිපත් කළ 'මාස හැටකින් අලුත් රටක් හදන පංච විධ ක්‍රියාවලියෙහි' හානිකර කෘෂි රසායනික පිළිබඳව විශේෂයෙන් අවධාරණය කර තිබිණි. එහි සඳහන් කර තිබෙන පරිදි පරිසරය සුරකින කාබනික ගොවිතැන මඟින් හරිත නිෂ්පාදනය සඳහා ඇති විදේශීය වෙළෙඳපොළ අල්ලා ගැනීමට උත්සාහ ගන්නා අතර රටෙහි ආහාර ස්වෛරීභාවය හා ආරක්‍ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව සඳහන් විය. මීට අමතරව මිනිසාට හා පරිසරයට හානිකර මෙන්ම විශේෂයෙන් වකුගඩු රෝගයට හේතුවන බව සොයාගෙන ඇති කෘෂි රසායනික ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම දින 100 තුළ තහනම් කළ බවත් එය තවදුරටත් ක්‍රියාත්මක වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාවට නංවන බවත් සඳහන් කර තිබිණි.


එපමණක් නොව වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමට ප්‍රථම ඉදිරිපත් කළ 'මෛත්‍රි පාලනයක් ස්ථාවර රටක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වකුගඩු රෝගයට හේතුවන බවට හෙළිදරව් වූ කෘෂි රසායනික ගෙන්වීම හා බෙදාහැරීම වහාම තහනම් කරන බව සඳහන් විය.


කෘෂි රසායනික භාවිතය හේතුවෙන් දිවයින පුරා ජනතාව නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරු වන බැවින් ග්ලයිෆොසේට් ඇතුළු හානිකර කෘෂි රසායනික ආනයනය හා භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සඳහා මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන පදනම් කරගෙන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සන්දේශයට 2015 මැයි මස 27 වැනි දින කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබේ. එම අනුමැතිය පාදක කරගෙන 1994 අංක 6 සහ 2011 අංක 31 දරන පනත්වලින් සංශෝධිත 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ 11 වැනි වගන්තියට අනුව බලපත්‍ර තහනම් කිරීම යටතේ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් විසින් 2015 ඔක්තෝබර් මස 23 වැනි දින අංක 1937/35 දරන ගැසට් නිවේදනයෙන් සක්‍රිය ග්ලයිෆොසේට් රසායනික අඩංගු සියලුම පළිබෝධනාශක සඳහා දී තිබූ බලපත්‍ර අවලංගු කරන ලදී. ඊට ප්‍රථමයෙන් 1969 අංක 1 දරන ආයතනය හා අපනයන (පාලන) පනතේ 4 (3) උප වගන්තිය සහ 14 වැනි වගන්තිය මෙන්ම 20 වැනි වගන්තියට අනුව ප්‍රකාශිත 2015 ජුනි මස 11 වැනි දින 1918/22 දරන ගැසට් නිවේදනයට අනුව ග්ලයිෆොසේට් අඩංගු වල්නාශක ලංකාවට ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදී.


මේ ආකාරයෙන් ග්ලයිෆොසේට් අඩංගු වල්නාශක ගෙන්වීම සහ භාවිතය සඳහා වන බලපත්‍ර අහෝසි කිරීමට ප්‍රථමයෙන් පළිබෝධනාශක පනතේ 11 වැනි වගන්තියට අනුව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ප්‍රකාශයට පත් කළ 2014 දෙසැම්බර් 22 වැනි දින අංක 1894/4 දරන ගැසට් නිවේදනය අනුව අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, මොනරාගල යන දිස්ත්‍රික්ක හතර තුළ හා බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද හා කන්දකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක තුළ ග්ලයිෆොසේට් අඩංගු වල් නාශක භාවිතය හා විකිණීම තහනම් කර තිබිණි.


පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ ග්ලයිෆොසේට් භාවිතය හා විකිණීම තහනම් කරන සියලු ගැසට් නිවේදනවල ප්‍රධාන වශයෙන්ම අවධාරණය කර ඇත්තේ මහජනතාවගේ හිත පිණිස සහ පළිබෝධනාශක තාක්‍ෂණික හා උපදේශක කමිටුවේ උපදෙස් මත මෙම තහනම් කිරීම සිදු කරන බවය. නමුත් පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ 11 වැනි වගන්තිය යටතේ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් ප්‍රකාශයට පත් කළ 2018 ජුනි 11 වැනි දින අංක 2079/27 දරන ගැසට් නිවේදනය මඟින් ග්ලයිෆොසේට් භාවිතය හා විකිණීමේ බලපත්‍ර තහනම් කිරීම අවලංගු කර ඇති අතර මෙදිනම ප්‍රකාශිත අංක 2078/38 දරන ගැසට් නිවේදනය මඟින් දිස්ත්‍රික්ක හතරක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක ග්ලයිෆොසේට් භාවිතය හා විකිණීමේ තහනමද ඉවත් කරන ලදී. මෙහිදීද අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ මහජනයාගේ හිත පිණිස සහ පළිබෝධනාශක තාක්‍ෂණික හා උපදේශක කමිටුවේ උපදෙස් පරිදි ග්ලයිෆොසේට් තහනම ඉවත් කළ බවය. මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථමයෙන් කිසිදු ආකාරයක කැබිනට් අනුමැතියක් ලබා ගෙන නොමැත. කැබිනට් අනුමැතියකින් තොරව ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට මෙම ගැසට් නිවේදන පත් කිරීම සඳහා කෘෂි රසායනික සමාගම්වලින් රජයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව පෙනෙන්නට තිබේ. මේ නිසා රජයට ජනතාව ගැන සිතීමට හෝ නීතිය පිළිබඳව තැකීමට අමතක වී ඇත.


මෙම ගැසට් නිවේදනවල සඳහන් වන ආකාරයට මහජනතාවගේ හිතසුව පිණිස උග්‍ර විස වල් නාශක භාවිත කිරීම හා විකිණීමේ අවසරය ලබාදුන් පළමු අවස්ථාව මෙයයි. ග්ලයිෆොසේට් වල් නාශක අඩංගු බෝතල්වල 'පළිබෝධනාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න' ලෙස සඳහන් වේ. එසේ තිබියදී හිටපු පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ප්‍රසිද්ධියේ සඳහන් කළේ ග්ලයිෆොසේට් විස රහිත බවත් එය පානය කිරීමේ හැකියාව සහිත වල් නාශකයක් බවත්ය.


1970 වසරේ සිට අද දක්වා රසායනික පළිබෝධනාශක 36ක් මෙරට තුළ භාවිත කිරීම නීතියෙන් තහනම් කිරීම හා නියාමනය කිරීම සිදුකර ඇත. පළමු වතාවට නියාමන හා නීතිමය අයුරින් තහනම් කළ උග්‍ර විස වල් නාශකයක් නැවත තහනම ඉවත් කළ අවස්ථාව ලෙස ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම සඳහන් කළ හැකිය. මෙය මොන්සැන්ටෝ සමාගමේ දැඩි බලපෑම මත ජනතාව උකසට තබමින් සමාජ ආචාරධර්ම උල්ලංඝනය කරමින් සමාගමෙන් ලැබෙන වරප්‍රසාද හා වරදානවලට ඇති ගිජුබව නිසා ගත් තීරණයක් බව පැහැදිලි වේ.

මොන්සැන්ටෝ සමාගම වෙනුවෙන් පෙනී සිටින්නේ කවුරුන්ද?


ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම පිටුපස මොන්සැන්ටෝ සමාගමේ වරදාන ලබන ආචාර්ය බුද්ධි මාරඹේ, ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ, මහාචාර්ය ඔලිවර් ඩී. ඉලේපෙරුම, ආචාර්ය කමල් ගම්මන්පිල, හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, හිටපු පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ඇතුළු කණ්ඩායමක් සිටිති. ඔවුන්ට ග්ලයිෆොසේට් භාවිතය නිසා ලෝකයේ රටවල ජනතාව භුක්ති විඳිමින් සිටින හානි හෝ ග්ලයිෆොසේට් භාවිතයේ හානිකර ප්‍රතිවිපාක පිළිබඳව සිදුකර ඇති පර්යේෂණවල ප්‍රතිඵල හෝ නොපෙනෙති. ඔවුන් හිතාමතාම බොහෝ දේ සමාජයෙන් සැඟවීමට උත්සාහ ගනිති.


ග්ලයිෆොසේට්වල ක්‍රියාකාරීත්වය
ග්ලයිෆොසේට් රසායනික නිපදවා ඇත්තේ උසස් ශාකවල සහ ක්‍ෂුද්‍ර ජීවීන් තුළ පමණක් හමුවන 5 ඊනොල්පයිරුවිල්සිකිමේට්-3-පොස්පෙට් (5-ඥදධතනඩරපභමරතඵඩඪඬඪථචබඥ-3-නඩධඵනඩචබඥ-ඡ්ර්ථීඉර්ථී) එන්සයිමය නිෂ්පාදනය නිශේධනය කිරීමටය. මෙම ඡ්ර්ථීඉර්ථී එන්සයිමය තයිරොසීන්, ටි්‍රප්ටොපෑන් හා පීනයිල්ඇලනීන් වැනි ඇමයිනෝ අම්ල නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වෙයි. ඡ්ර්ථීඉර්ථී එන්සයිමය පිළිබඳව තවදුරටත් සලකා බැලුවහොත් එය ශාක හෝමෝනයක් වන ඔක්සීන නිපදවීමට, ෆෝලික් අම්ලය හා ලිග්නීන් නිපදවීමටද අවශ්‍ය වේ.


ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍යයන් ශාකයකට යෙදිය යුත්තේ ශාක පත්‍ර මතට පමණක් වන අතර, පොළොවට යෙදීමෙන් ශාකයට සිදුවන හානිය අවමය. මෙහිදී සංස්ථානික වල් නාශකයක් ලෙස ග්ලයිෆොසේට් ශාක පත්‍ර මතින් ශාකයට ඇතුළු වන අතර ප්ලෝයම පටක ඔස්සේ ශාකය පුරාම පරිවහනය වී මුල් දක්වාද ගමන් කරයි. බහුල වශයෙන් ශීඝ්‍රයෙන් විභාජනය වන පටකවල, නොමේරූ ශාක පත්‍රවල සහ පොළොව යට තිබෙන ශාක පටකවල ග්ලයිෆොසේට් තැන්පත් වෙයි.

ග්ලයිෆොසේට් මඟින් මානව සෞඛ්‍යයට එල්ල වන බලපෑම


ග්ලයිෆොසේට් මඟින් මානව සෞඛ්‍යයට එල්ල කරන බලපෑම ආකාර කිහිපයකින් සිදුවේ. එක් බලපෑමක් වන්නේ ග්ලයිෆොසේට් සංයෝගයෙන් සිදු කරන බලපෑමය. අනෙක ග්ලයිෆොසේට් භාවිත කර වල් නාශක නිෂ්පාදනයේදී එක් කරන ආධාරක රසායනික නැතහොත් අමතර සංඝටක මඟින් ඇති කරන බලපෑමයි. මේ දෙකම පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ.


ග්ලයිෆොසේට් ශරීරගත වීම ආකාර කිහිපයකින් සිදුවේ. ජලය මඟින්, ආහාර මඟින්, ශරීරයේ තැවරීමෙන් හා ආඝ්‍රාණයෙන් ග්ලයිෆොසේට් ශරීරගත වේ. මේ කුමන ආකාරයෙන් ශරීරයට ග්ලයිෆොසේට් එක් වුවද ඇති කරන බලපෑම ඉතාම දරුණුය.


අපගේ ශරීරයේ ඇති ග්ලයිසීන් ඇමයිනෝ අම්ලය නැතහොත් එන්සයිමයට පොස්පේට් අණුවක් එක්වූ විට ග්ලයිසීන් පොස්පේට් නැතහොත් ග්ලයිෆොසේට් සැකසේ. ඒ අනුව ශරීරයට ග්ලයිෆොසේට් එක්වූ විට ශරීරයේදී ග්ලයිසීන් ඇමයිනෝ අම්ලය වෙනුවට ග්ලයිෆොසේට් ආදේශ වී ඉතා හානිකර බලපෑම් ශරීරයේ ක්‍රියාකාරීත්වයට ඇති කරයි. මතක ශක්තිය අඩුවීම හා වකුගඩු ආබාධ ඇති කිරීමට මේ තත්ත්වයන් බලපානු ලැබේ. ග්ලයිෆොසේට් හා දියවැඩියා රෝග අතර සම්බන්ධයක් පවතින්නේ අග්න්‍යාශයේ ලැන්ගහෑන් ද්විපිකා සෛල මඟින් නිකුත් වන එන්සයිමවල ක්‍රියාකාරීත්වය වෙනස් කිරීම හේතුවෙනි. මේ නිසා ශරීරයේ සීනි මට්ටම වෙනස්වී දියවැඩියා රෝගී තත්ත්වයන් ඇති කිරීමට ග්ලයිෆොසේට් දායක වේ.
ග්ලයිෆොසේට් ආහාර මාර්ගයට එක්වූ විට අන්ත්‍රයේ (බඩවැල්වලට) සිටින හිතකර බැක්ටීරියා විනාශ කරන අතර මේ නිසා අහිතකර බැක්ටීරියා වර්ධනය වේගවත් වේ. මේ නිසා ආමපිත්ත රෝගයෙන් පෙළෙන අයට ඉතාම දරුණු අහිතකර බලපෑම් ඇතිවේ.


ඇල්කොහොල් නොවන අක්මා රෝගය නැතහොත් අක්මාව දියවීමේ රෝගය (ඹ්භදඨ චතජධඩධතඪජ තඪමඥප ඤඥජඥචඵඥඵ) ඇතිවීමට ග්ලයිෆොසේට් ඍජුවම බලපායි.
ග්ලයිෆොසේට්වලට නිරාවරණය වූ පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමොන මට්ටම 35%කින් අඩු කරන බවත් වෘෂණ කෝෂවල නිර්නාල ග්‍රන්ථි බිඳ වැටීම මඟින් ජීවී ශුක්‍රාණු සෛලවල විකෘති වර්ණ දේහ මට්ටම ඉහළ යෑමත් සිදුවී ඇති බව සොයාගෙන ඇත.

ග්ලයිෆොසේට් භාවිතය තහනම් කර ඇති රටවල්


මේ වන විට ලොව පුරා රටවල් ගණනාවක් ග්ලයිෆොසේට් අඩංගු වල් නාශක භාවිතය තහනම් කිරීමට හා සීමා කිරීමට පියවර ගෙන ඇත. යුරෝපා රටක් වන මෝල්ටා ග්ලයිෆොසේට් භාවිතය තහනම් කර තිබේ. මැදපෙරදිග රටවල් වන සවුදි අරාබිය, කුවේට්, එක්සත් අරාබි එමිරේට්ස්, කටාර්, බහරේන් හා ඕමාන් යන රටවල් හයෙහි ග්ලයිෆොසේට් වල් නාශකය භාවිතය තහනම් කර තිබේ. ප්‍රංශය ඉදිරි වසර තුන තුළදී ගල්යිෆොසේට් තහනම් කිරීමට පියවර ගැනීමට තීරණය කර ඇත. යුරෝපා පාර්ලිමේන්තුව විසින් යුරෝපා සංගමයට අයත් රටවල් 28කම ග්ලයිෆොසේට් භාවිතය ඉදිරි වසර 5 තුළ තහනම් කිරීමටත් ගෙවතුවල භාවිතය තහනම් කිරීමට කඩිනමින් පියවර ගැනීමටත් තීරණය කර තිබේ.


ජර්මන් කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් මේ වසරේ අප්‍රේල් මාසයේදී ග්ලයිෆොසේට් භාවිතය අඩු කිරීම සඳහා වන නියෝග මාලාවක් සකස් කර අවසන් කර තිබේ. බෙල්ජියම, ආර්ජන්ටිනාව, බර්මුඩා, කොළොම්බියාව, නෙදර්ලන්තය, ඉතාලිය, පෘතුගාලය, එල්සැල්වදෝරය වැනි රටවල් ග්ලයිෆොසේට් භාවිතය සීමා කිරීමට, ගෙවතුවල භාවිතය තහනම් කිරීමට, තෝරාගත් නගරවල හා පොදු ස්ථානවල භාවිතය තහනම් කිරීමට සහ වාණිජ වගාවන් සඳහා පමණක් භාවිත කිරීමට නීති පනවා ඇත.
මේ සියලු තත්ත්වයන් පාදක කරගෙන ග්ලයිෆොසේට් තහනම නැවත ගෙන ආ යුතුය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon