දැල්පන්දු ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් මීට වඩා හොයා බලනවා නම් හොඳයි - පුහුණුකාරිනී තිලකා

  👤  2506 readers have read this article !
By mawbima 2018-09-12

විචිත්‍ර වීරසිංහ


2009 වසරෙන් පසු ආසියානු දැල්පන්දු කුසලානයක් හිමිකර ගැනීමට අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාව උත්සාහ කළ නමුත් ඒ සෑම අවස්ථාවකදීම සිදුවූයේ අවසන් තරගයේදී ප්‍රතිවාදී කණ්ඩායමට ජයග්‍රහණය භාරදී අනුශූරතාවයෙන් සෑහීිමට පත්වීමටය. එහෙත් ගතවූ වසර 9ක අඳුරු අතීතය වළ දැමූ ශ්‍රී ලංකාව පසුගියදා සත්කාරක සිංගප්පූරුව පරාජයට පත්කරමින් යළිත් ආසියානු දැල්පන්දු කුසලානය තමන් සන්තකයට ගත්තේය.


ඒ අනුව වසර 9කට පසු ආසියානු දැල්පන්දු කුසලානය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමේ උත්සවයක් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11දා) අලුයම කටුනායක ගුවන් තොටුපළේදී අති උත්කර්ෂවත් අන්දමින් සිදුවිය.


මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා චතුරංගි ජයසූරිය පැවැසුවේ මෙවන් අදහසකි. "අපේ මේ ජයග්‍රහණය පසුපස ඉන්නේ අපේ පුහුණුකාරිනි තිලකා ජිනදාස මහත්මිය කියලා අනිවාර්යයෙන්ම කියන්නම ඕන. අවුරුදු 9ක් තිස්සේ අපිට ලබාගන්න නොහැකි වූ ශූරතාව දිනාගැනීමේ අධිෂ්ඨානයෙනුයි අපි සියලුම දෙනා පුහුණුවීම් කළේ. ඒ වගේම අපේ මානසික ඒකාග්‍රතාව ආරක්‍ෂා කරගැනීම සඳහා නාලක හේවාමද්දුම මහත්තය අපි වෙනුවෙන් ලොකු සේවයක් කළා. මේ ජයග්‍රහණයට ශිවා අක්කගේ (තර්ජිනී සිවලිංගම්) උස ලොකු ප්‍රයෝජනයක් වුණා වගේම අනෙක් සියලුම දෙනා කණ්ඩායම වෙනුවෙන් ඔවුන්ගේ උපරිමයෙන්ම කළ නිසයි අද අපිට මේ ශූරතාව දිනාගැනීමට හැකි වුණේ. ලබන වසරේදී පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේදී ලෝකයේ හොඳම කණ්ඩායම් 10 අතරට පැමිණීම සියලු දෙනාගේම අධිෂ්ඨානය බවද ශ්‍රී ලංකා නායිකාව තවදුරටත් සඳහන් කළාය.


"ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහත්තයා අපිට විශාල වශයෙන් උපකාර ලබා දුන්නා වගේම මම සේවය කරන ගුවන් හමුදාවට විශේෂ ස්තුතියක් පිරිනැමිය යුතුමයි. අපි විසින්ම සපයාගත් පහසුකම්වලින් තමයි පුහුණුවීම් කටයුතු කළේ. ඒක නිසා මෙතන අඩුපාඩු කතා කරන්න මම කැමැති නැහැ. කොහොම වුණත් ඉදිරි ලෝක කුසලානය සඳහා පුහුණුවීම් කරන්න සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය ලැබෙනවා නම් එය ලොකු පහසුවක් වේවි" යනුවෙන්ද ශ්‍රී ලංකා නායිකා චතුරංගි ජයසූරිය පැවැසුවාය.


ශ්‍රී ලංකා කණ්ඩායම මෙතරම් දුරක් ඒම සඳහා විශාල කැපවීමක් කළ ශ්‍රී ලංකා පුහුණුකාරිනි තිලකා ජිනදාස පැවැසුවේ වෙනස්ම අදහසකි. "මේ ක්‍රීඩිකාවන් නිසා තමයි අපි අද මෙතන ඉන්නේ. ඒ නිසා ඒ අයගේ කෑම බීම, නවාතැන් පහසුකම් හා අනෙකුත් දේවල් සම්බන්ධයෙන් මෙයට වඩා හොයලා බලනවා නම් හොඳයි. තරගාවලියක් ජය ගන්න පුළුවන් වෙන්නේ කණ්ඩායම් හැඟීම තිබ්බොත් කියන කාරණය මම හැම වෙලාවෙම මේ අයට කිව්වා. මම මුල සිටම බැලුවේ කණ්ඩායමක් වශයෙන් එකමුතුව තබාගන්නයි. ඒක හුඟක් සාර්ථක වුණා. ඒක නිසාම වෙන්න ඇති ඔවුන්ගේ විනය සම්බන්ධයෙන් මට කිසිම අවස්ථාවක ගැටලු මතු වුණේ නැහැ.


කොහොම වුණත් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහත්මයත්, දැල්පන්දු සභාපතිනි ටි්‍රක්ෂි නානායක්කාර මහත්මියත් අපි සම්බන්ධයෙන් සොයලා බැලුවා. විශේෂයෙන්ම මලාවි දේශයේ කළ සංචාරයට ක්‍රීඩා ඇමැතිතුමා විශේෂ අනුග්‍රයක් අපිට ලබා දුන්නා. විශේෂයෙන්ම ඔවුන්ගේ (මලාවි කණ්ඩායමේ) ආවේගශීලී ක්‍රීඩා විලාසය අපිට ආසියානු ශූරතාව දිනාගැනීම සඳහා උපකාරී වුණා" යනුවෙන් සඳහන් කළ තිලකා ජිනදාස ඉදිරි දැල්පන්දු ලෝක කුසලානය සඳහා පුහුණුවීම් කටයුතු වෙනුවෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය ලබා දුනහොත් මෙයට වඩා දෙයක් කළ හැකි බවද පෙන්වා දුන්නාය.
ඡායාරූප - වෙනුර චන්ද්‍රමාලිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon