ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය ශ්‍රී ලංකාව ප්‍රබලයන්ගේ කාණ්ඩයට දිනුක් අමරසිංහට ජාතික රග්බි වරම්

  👤  2487 readers have read this article !
By mawbima 2018-09-12

සැප්තැම්බර් 14 සහ 15 දෙදින හොංකොං හිදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේදී නව නායකත්වයෙන් යුත් නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකාවට තරග කිරීමට සිදුව ඇත්තේ ප්‍රබලම කණ්ඩායම් සිටින 'ඒ' කාණ්ඩයෙනි. ඒ අනුව ශ්‍රී ලංකාව සමඟින් ජපානය, චීනය හා චීන තායිපේ එම කාණ්ඩයෙන් තරග වදින අතර සත්කාරක හොංකොං සමඟින් කොරියාව, පිලිපීනය හා මැලේසියාව 'බී' කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය.


දින කිහිපයකට ඉහතදී ඉන්දුනීසියාවේදී නිමාවට පත්වූ ආසියානු ක්‍රීඩා උළෙලේදී මැණික්කටුවේ ආබාධයකට ලක්වූ සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායක සුදර්ශන මුතුතන්ත්‍රි හට සති තුනක කාලයක් පිටියෙන් ඉවත්ව විවේක ගැනීමට සිදුවීමත් සමඟ ශ්‍රීනාත් සූරියබණ්ඩාර මෙවර ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇත.
කෙසේ නමුත් මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික වටයේ පළමු තරගය චීනය සමඟින්ද දෙවන තරගය ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමට හිමිකම් කී ජපානය සමඟින්ද පැවැත්වෙන අතර තෙවැනි තරගය 15දා චීන තායිපේට එරෙහිව පැවැත්වෙයි. තවද සෑම කාණ්ඩයකින්ම පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක කුසලාන අවසන් පූර්ව වටය වෙනුවෙන්ද ඉතිරි කණ්ඩායම දෙක පළඟ ශූරතා වටයටද සුදුසුකම් ලබාගනී.


තවද ක්‍රීඩකයන් 12 දෙනකුගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා සංචිතයට සුදර්ශන මුතුතන්ත්‍රිට අමතරව දනුෂ්ක රන්ජන්ද ආබාධයක් හේතුවෙන් ඇතුළත් නොවන අතරම ජේසන් දිසානායක හා තරින්ද රත්වත්තේ පෞද්ගලික හේතූන් මත කණ්ඩායමෙන් ඉවත්ව ඇත. කෙවින් ඩික්සන්, අදීශ වීරතුංග, නවීන් හේනකංකානමගේ සහ දිනුක් අමරසිංහ කණ්ඩායමෙන් ඉවත්ව ඇති ජේ‍යෂ්ඨ ක්‍රීඩකයන් වෙනුවට කණ්ඩායමට කැඳවා තිබීමද විශේෂත්වයකි.


ශ්‍රී ලංකා සංචිතය _ ශ්‍රී නාත් සූරියබණ්ඩාර, ගයාන් වීරරත්න, දනුෂ් දයාන්(මහනුවර ක්‍රීඩා සමාජය), කවිඳු පෙරේරා, රේහාන් සිල්වා, රීසා රෆයිදීන්, කෙවින් ඩික්සන්, (සී.ආර්.), නවීන් හේනකංකානමගේ, සුදම් සූරියාරච්චි (සී.එච්.), බුද්ධිම පියරත්න, අදීශ වීරතුංග(නාවික හමුදා), දිනුක් අමරසිංහ(හැව්ලොක්)

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon