ගෝඨා අද CIDයෙ

  👤  2469 readers have read this article !
By mawbima 2018-09-12

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් කෘෘර වධහිංසනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (12දා) දින කැඳවා තිබේ.


මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පෙරවරු 10.00ට එම දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


මීට අදාළ දැනුම්දීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඉකුත් සතියෙහි දිනක කොළඹ පදිංචි ඒ මහතාගේ නිවෙසට ගොස් ලිඛිතව දැනුම් දී ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.


මෙම විමර්ශනයට අදාළව ඉකුත් අගෝස්තු මස 17 වැනි දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. ඒ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාමේ පිහිටි නිල නිවෙසට ගොසිනි.


එසේම මීට අදාළව කථානායක කරු ජයසූරිය මහතාගෙන්ද එම නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි.


තවද මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පදිංචිව සිටින ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරට ඉකුත් ජුනි මාසයේ ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඔහුගෙන් මීට අදාළව දින පහක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.


2008 වසරේ මැයි 22 වැනි දින රාත්‍රි කාලයේ කීත් නොයාර් මහතා පැහැර ගැනීමකට ලක් විය. ඒ ඔහු පදිංචිව සිටි දෙහිවල, වෛද්‍ය පාර, ප්‍රදේශයේ පිහිටි නිවෙස ඉදිරිපිටදීය.
එවක කීත් නොයාර් මහතා 'ද නේෂන්' පුවත්පතේ සම කර්තෘවරයා ලෙස සේවය කරමින් සිටියේය.


මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගත් බව එවක වත්මන් කථානායක කරු ජයසූරිය මහතා විසින් හිටපු ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතාට දුරකථනය හරහා දැනුම් දී තිබූ බවද සඳහන් වේ.


ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම කැඳවීමත් සමඟ අද (12දා) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටි ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක්ද සැපයීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon