ජොන්ස්ටන් රිමාන්ඩ් කිරීම නීති විරෝධීයි

  👤  2503 readers have read this article !
By mawbima 2018-09-12

කුරුණෑගල මහාධිකරණය විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම පවත්නා නීති ප්‍රතිපාදනවලට සහමුලින්ම පටහැනි බැව් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අභියාචනාධිකරණය හමුවේ ඊයේ (11දා) ප්‍රකාශ කර සිටියේය.


අභියාචනාධිකරණ විනිසුරුවන් වන ජනක් සිල්වා සහ අචල වෙංගප්පුලි යන ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලයක් හමුවේ ජනාධිපති නීතිඥවරයා එසේ ප්‍රකාශ කර සිටියේ එකී නියෝගයට එරෙහිව කරුණු දක්වමිනි.


කුරුණෑගල මහාධිකරණය විසින් දෙන ලද එකී රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය, නීතිය වරදවා වටහා ගැනීමෙන් දෙන ලද වැරැදි හා ස‍ෙදාස් නියෝගයක් බැවින් එය බලරහිත කරන ලෙස ඉල්ලමින් මෙම ප්‍රතිශෝධන පෙත්සම හිටපු අමාත්‍ය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ගොනුකොට ඇත.


පෙත්සම සම්බන්ධයෙන් පැවැති මූලික කරුණු විමසීමේදී ඉදිරිපත් වූ කරුණු හා පෙත්සමේ සඳහන් කොට තිබුණු කරුණු අනුව බැලූ බැල්මට නඩු නිමිත්තක් උද්ගතව ඇති බැව් පිළිගත් ද්විපුද්ගල විනිසුරු මඬුල්ල, පසුදිනම (එනම් අද (12දා)ම) ඒ පිළිබඳ වැඩිදුර කරුණු විමසීම සඳහා පෙත්සම යළි කැඳවීමට නියම කළේය.


ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වැඩිදුරටත් විනිසුරු මඬුල්ල හමුවේ පෙන්වා දුන්නේ, දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් පළිගැනීම සඳහා වත්මන් රජය පත්වූදා සිට ගෙනයන දුර්දාන්ත පළිගැනීමේ ව්‍යාපෘතිය යටතේ පවරන ලද නඩු අතරින් මෙය තවත් එක් නඩුවක් පමණක් බවද කරුණු විකෘති කර දක්වමින් නීතිය කණපිට පෙරළා අධිකරණ හමුවේ චෝදනා ගොනු කිරීමට පෙළගැසී සිටින නිලධාරීන් අතළොස්සක් රජයේ ප්‍රධානීන්ගේ පෙලඹවීම මත මෙම ක්‍රියාදාමය සිදු කරගෙන යන බවත්ය.


ලක් සතොස යනු රාජ්‍ය ආයතනයක් නොව පෞද්ගලික වෙළෙඳ ආයතනයක් බවද 2014දී පෙත්සම්කාර ඇමැතිවරයා විසින් එම ආයතනයේ කුරුණෑගල ශාඛාවෙන් දුප්පත් ජනතාව වෙත වියළි සලාක මල්ලක් බැගින් බෙදාදීම සඳහා අවශ්‍ය වන වියළි ආහාර තොගයක් පසුව මුදල් ගෙවීමේ පදනම මත ලබාගෙන ඇති බවද පසුව එම මුදලද ගෙවා දමා එය පියවා ඇති බවද එසේ තිබියදී එලෙස මුදල් නොගෙවා එකී වියළි ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම මඟින් රජයේ දේපොළ අවභාවිත කොට ඇතැයි පවසමින් මෙම චෝදනා පෙත්සම්කරුට එරෙහිව නඟා ඇති බවද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.


කරුණු මෙසේ තිබියදී හා එම කරුණු විත්තිකාර පාර්ශ්වය (පෙත්සම්කරු) විසින් ඉතා නිරවුල්ව විවෘත අධිකරණයේදී පෙන්වාදී තිබියදීත් උගත් මහාධිකරණ විනිසුරුවරයා විසින් කිසිදු සොයා බැලීමකින් තොරව පැමිණිල්ලේ ඉල්ලීම මතම පිහිටා පෙත්සම්කරු රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කොට ඇති බවද එය නීති ප්‍රතිපාදනවලට පටහැනි බවද එබැවින් එම නියෝගය බලරහිත කොට පෙත්සම්කරුට ඇප නියම කොට මුදාහරින ලෙස නියෝග කරන මෙන්ද විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon