ඉන්ධන මිල වැඩිවීමත් සමඟ පාසල් වෑන් රථ: පෞද්ගලික බස්: ත්‍රිරෝද රථ ගාස්තු නංවයි

  👤  2469 readers have read this article !
By mawbima 2018-09-12

ඊයේ (11දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ නංවා තිබේ.


ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් මිල රුපියල් 4කින්ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින්ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින්ද ඉහළ නංවා ඇත.


ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වෙනස්වීමට අනුකූලව මෙරට ඉන්ධන මිල තීරණය කරන කමිටුව පෙරේදා (10දා) දින රැස් වී මෙම තීරණය ගෙන තිබේ. සෑම මසකම 10 වැනි දින එම කමිටුව රැස් වේ.


මෙම නව මිල සංශෝධනයත් සමඟ රුපියල් 145කට පැවැති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 149ක් වන බවත්, රුපියල් 157ට පැවැති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 161ක් වන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.


රුපියල් 118කට පැවැති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 123 බවත් රුපියල් 130ට පැවැති සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 133ක් බවත් එම සංස්ථාව සඳහන් කරයි.
මෙම ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමඟම ඊයේ (11දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා අයි.ඕ.සී. සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.


ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 150 ලෙසත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 164 ලෙසත් මිල ඉහළ නංවා ඇත.
ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් ලීටරයක මිල ගණන් පමණක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉහළ නැංවූ මිලටම ලබාදීමට එම සමාගම කටයුතු කර ඇත.
මෙම කමිටුව විසින් අවසන් වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදු කරනු ලැබුවේ ඉකුත් අගෝස්තු මස 10 වැනිදාය.

 

එදින ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 2කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියලකින්ද ඉහළ නංවා තිබිණි.


මුදල් අමාත්‍යාංශයේ ඉන්ධන මිල සූත්‍රය ගණනය කිරීමේ කමිටුව මඟින් පෙරේදා (10දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ නැංවීම නිසා පාසල් වෑන් රථ ගාස්තු, පෞද්ගලික බස් ගාස්තු, ත්‍රිරෝද රථ ගාස්තු ඇතුළු ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට සිදුවන බව එම සංගම් පෙන්වා දෙයි.


ඉන්ධන මිල ඉහළ නැංවීම නිසා පාසල් වෑන් රථ ගාස්තු සියයට 5කින් ඉහළ නංවන බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.
මේ වනවිට ඉන්ධන මිල අවස්ථා දෙකකදී වැඩිවීම තම දෛනික ආදායම් කෙරෙහි බලපා ඇති බැවින් සියලුම බස් සංගම් එක්ව සාකච්ඡා කර පෞද්ගලික බස් රථ ගාස්තු ඉහළ නැංවීම පිළිබඳ තීරණයක් ගන්නා බව සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.


ඉන්ධන මිලට මිල සූත්‍රයක් ක්‍රියාත්මක කරන්නේ නම් ප්‍රවාහන ක්ෂේත්‍රයටද මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු යැයි අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පෙන්වා දෙයි.


ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කරන්නේ ත්‍රිරෝද රථ ගාස්තු වැඩි නොකිරීමට නම් ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදිය යුතු බවයි.


මේ පිළිබඳව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයෙන් විමසූ විට එහි ප්‍රකාශකයෙක් පැවැසුවේ පසුගිය ජූලි මාසයේ සිට බස් ගාස්තු සියයට 12.5කින් වැඩි කිරීම නිසා යළි වැඩි කිරීමක් කළ නොහැකි බවත්, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වූ විට ඊට සාපේක්ෂව බස් රථ ධාවකයන්ට එහි වාසිය හිමිවන බවයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon