රත්නසිරිගේ හිසට අලුත්ගමගේ පිස්තෝලය තියයි

  👤  2552 readers have read this article !
By mawbima 2018-09-12

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා නාවලපිටිය එජාප ප්‍රධාන සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහතා විසින් නාවලපිටිය පස්බාගේ ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රි එම්.එස්. රත්නසිරි මහතාගේ හිසට පිස්තෝලයක් තබා මරණ තර්ජනය කළැයි ඒ මහතා නාවලපිටිය පොලිසියට පෙරේදා (10දා) රාත්‍රි පැමිණිල්ලක් කර තිබේ.


ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගේ නිවෙසට ගොස් ඇති අලුත්ගමගේ මන්ත්‍රිවරයා මෙම මරණ තර්ජනය කර ඇත්තේ ඔහුගේ බිරිය, දියණිය හා තවත් හිතවතකු නිවෙසේ සිටියදී බවද එම පැමිණිල්ලේ දැක්වේ.


නාවලපිටියේ දේශපාලනය කරන්නේ අලුත්ගමගේලා පමණක් බව පවසා බැන වැදී ඇති අලුත්ගමගේ මහතා තමාට විරුද්ධ වනවා නම් මරා දමන බව පවසා පිස්තෝලය හිසට තබා තර්ජනය කළ බවත් එවිට බිරිය ඉදිරිපත්ව මන්ත්‍රිතුමා මේ පාර දිනුවේ අපේ මහත්තයා වැඩ කළ නිසා යැයි කියා ඇති බවත් සඳහන් කොට තිබේ.


පසුගිය පළාත් පාලන මැතිවරණයේදී නාවලපිටිය නගර සභාවේ බලය එජාපය ඇල්ලුවත් එහි නගරාධිපති ධුරයට පත් සසංග සම්පත් (රංග) මහතා සමඟ මන්ත්‍රිවරයා පවතින අමනාපයක් හේතු කොටගෙන කණ්ඩායම් දෙකක් බිහිවීමේ ප්‍රතිඵලය මෙම ගැටුමට හේතු වී ඇති බව පරීක්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය සඳහන් කරයි.


මේ පිළිබඳව ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයාගෙන් කරුණු විමසීම සඳහා පෞද්ගලික දුරකථනයට හා කාර්යාල දුරකථනයට කතා කළත් ප්‍රතිචාරයක් නොලැබිණි.
මන්ත්‍රිවරයා තර්ජනය කරන අයුරු හඬ පටයකද සටහන්ව ඇත.


නාවලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon