නීති විරෝධී ලාංකික සංක්‍රමණිකයන් 90ක් අල්ලයි

  👤  2472 readers have read this article !
By mawbima 2018-09-12

නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ දරමින් සිටි ශ්‍රී ලාංකිකයන් 90 දෙනකු ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ මීගමුව මුහුදේදී නාවික හමුදාව විසින් ඊයේ (11දා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙරට මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීති විරෝධී කටයුතු වැළැක්වීම අරමුණු කර ගනිමින් මුර සංචාරය සඳහා යොදවා තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.


මීගමුව ප්‍රදේශයට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සැකකටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් යාත්‍රා කරන බැව් මුර සංචාරයේ යෙදී සිටි වේග ප්‍රහාරක යාත්‍රාවන් නිරීක්ෂණය කොට ඇති අතර, ඒ සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඒම වේග ප්‍රහාරක යාත්‍රා දෙක එම ට්‍රෝලර් යාත්‍රාව දෙසට යාත්‍රා කොට ට්‍රෝලර් යාත්‍රාව පරීක්ෂාවට ලක් කිරීමේදී නීති විරෝධී ලෙස මුහුදු මඟින් රීයුනියන් දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 90 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.


පිරිමින් අසූනව දෙනකු සහ එක් කාන්තාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත. තවද මෙම පුද්ගලයන් මඩකළපුව, තුඩුවාව, උඩප්පුව, හලාවත, මන්නාරම, අම්පාර සහ මාතලේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.


අනතුරුව මෙම පුද්ගලයන් කොළඹ වරාය වෙත රැගෙන ඒමෙන් පසු ප්‍රථමාධාර සහ වෛද්‍ය පහසුකම් සැපයීමට නාවික හමුදාව කටයුතු කර තිබේ. ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයන් සහ ට්‍රෝලර් යාත්‍රාව කොළඹ වරාය පොලිසිය වෙත භාර දී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon