ගවර්ස් කෝපරේට් සමාගමේ කොටස් මිලදී ගැනීමේ නඩුව තමා දුන් කටඋත්තර පහ එකිනෙකට පරස්පර විරෝධී බව සාක්‍ෂිකරු පිළිගනී

  👤  905 readers have read this article !
By mawbima 2018-09-12

කේ.එස්. උදය කුමාර්

ඉකුත් රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක කොටස් මිලදී ගැනීම සඳහා යෙදවූ බවට චෝදනා එල්ලවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුවට අදාළව තමා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කටඋත්තර පහක් දුන් බවත් එම කටඋත්තර එකිනෙකට පරස්පර බව නඩුවේ ප්‍රධාන සාක්‍ෂිකරුවකු වන බොස්ටන් කැපිටල් සමාගමේ හිමිකරු වූ රොහාන් අභය ඊරියගොල්ල මහතා ඊයේ (11දා) කොළඹ මහාධිකරණය හමුවේ පිළිගත්තේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේදී විභාගයට ගත් අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා මතුකළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්‍ෂිකරු මෙම පිළිගැනීම කළේය.

විත්තියේ නීතිඥවරයා: තමා මෙම නඩුවට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශ කීපයක් දී තිබෙනවාද?

සාක්‍ෂිකරු: ප්‍රකාශ පහක් දුන්නා ස්වාමිනී.

විත්තියේ නීතිඥවරයා: ඔබ මුලින්ම දුන් කට උත්තර දෙක අසත්‍ය බව ඔබ මීට පෙර පිළිගෙන තිබුණා නේද?

සාක්‍ෂිකරු: මට මතකයේ තිබූ දේ තමයි මුලින්ම දුන් කටඋත්තර දෙකේ සඳහන් කර සිටියේ. පසුව මගේ මවත්, බිරියත් ප්‍රකාශ කර සිටියා හැකිතාක් සත්‍ය පොලිසියට කියන්න කියා. ඉන් අනතුරුව තමා මම තවත් කටඋත්තර තුනක් පොලිසියට දුන්නේ.

විත්තියේ නීතිඥවරයා: ඔබ පොලිසියට දුන් හතරවැනි සහ පස්වැනි කටඋත්තර පොලිසියේ කැඳවීමකින් තොරව ස්වේච්ඡාවෙන්ම පොලිසියට ගොස් දුන් කටඋත්තර බවට මා යෝජනා කරනවා.

සාක්‍ෂිකරු: එය ප්‍රතික්ෂේප කරනවා ස්වාමිනී. පොලිසියෙන් කැඳවීමක් ලැබුණු නිසා තමයි මා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත ගොස් කටඋත්තර දුන්නේ.

විත්තියේ නීතිඥවරයා: මෙම නඩුවට අදාළව ඔබ මුලින්ම පොලිසිය වෙත දුන් කටඋත්තර දෙක සහ පසුව දුන් කටඋත්තර තුන අතර පරස්පර කරුණු ඇතුළත් බවට මා යෝජනා කරනවා.

සාක්‍ෂිකරු: මට තිබෙන මතකය අනුව තමයි මම පොලිසියට ප්‍රකාශ දුන්නේ. පරස්පර තත්ත්වයන් තිබිය හැකියි.

විත්තියේ නීතිඥවරයා: මෙම නඩුවට අදාළ නොවන වෙනත් කාරණා සඳහා ඔබ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ගොස් ප්‍රකාශ දී තිබෙනවාද?

සාක්‍ෂිකරු: ඔව්. ස්වාමිනී. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ පරීක්‍ෂණ තුනකට අදාළව මා ප්‍රකාශ දී තිබෙනවා.

විත්තියේ නීතිඥවරයා: මෙම නඩුවට මේ ආකාරයෙන් සාක්‍ෂි දෙන ලෙස දන්වා ඔබට කිසිවකු විසින් අල්ලසක් දී ඇති බවට මා යෝජනා කරනවා.

සාක්‍ෂිකරු: එය ප්‍රතික්ෂේප කරනවා.

විත්තියේ නීතිඥවරයා: ඔබ වංචා සහගතව කූට ලෙස මුදල් උපයන ව්‍යාපාරිකයකු බව මා යෝජනා කරනවා.

සාක්‍ෂිකරු: එය ප්‍රතික්ෂේප කරනවා ස්වාමිනී. මා දන්නා තොරතුරු තමා පොලිසියට ප්‍රකාශ කළේ.

වැඩිදුර නඩු විභාගය ඔක්තෝබර් මස 09 වැනිදා දක්වා කල් තැබිණි.

පසුගිය රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස ක්‍රියාකරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනත යටතේ වරදක් කර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ගවර්ස් කෝපරේට් සමාගමේ
අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළ ඉන්දික ප්‍රභාත් කරුණාජීව, සුජානි බෝගොල්ලාගම, ඉරේෂා ද සිල්වා, නිත්‍යා සේනානි සමරනායක සහ ගවර්ස් කෝපරේට් සමාගම නම් කර තිබේ.

මෙම නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස නම් කර සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව මහතා මේ වනවිට අධිකරණය මඟහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩුව පවත්වාගෙන යෑමට අධිකරණය තීරණය කර තිබේ. ගවර්ස් කෝපරේට් සමාගම වෙනුවෙන්ද අධිකරණය හමුවේ කිසිදු නීතිඥවරයකු අධිකරණය හමුවේ පෙනී නොසිටී.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටී.

නාමල් රාජපකෂ මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් ගනේෂ්
ධර්මවර්ධන, සම්පත් මෙන්ඩිස්, නවීන් මාරපන, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ යන මහත්වරුන් සමඟ ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා පෙනී සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon