ලක්ෂ 120කට වඩා වටිනා කේරළ ගංජා කි. 118ක් අල්ලයි

  👤  934 readers have read this article !
By mawbima 2018-09-12

මුලතිව් - ශෂිකුමාර්, වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

ඉන්දියාවේ සිට ගෙන එන ලද රුපියල් ලක්ෂ 120කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 118ක් සමඟ සැකකරුවන් තිදෙනකු හා යාත්‍රාවක් යාපනය පේදුරුතුඩුව වෙරළ තීරයේදී උතුරු නාවික විධානය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවට නාවික හමුදාව පැවැසීය.

පේදුරුතුඩුව, ප්‍රදීපාගාරයට සැතපුම් 10ක් දුරින් වූ මුහුදු තීරයේදී උතුරු නාවික විධානයට අයත් විශේෂ යාත්‍රා බළගණයට සම්බන්ධ නාවික හමුදා භට පිරිසක් විසින් සිදුකරන ලද සෝදිසියකදී අදාළ කේරළ ගංජා තොගය රැගත් යාත්‍රාව නිරීක්ෂණය වී ඇති අතර එහිදී ජාවාරම්කරුවන් ධීවරයන් සේ වෙස් වළාගෙන සිට ඇත. පසුව නාවික හමුදා නිලධාරීන් විසින් අදාළ යාත්‍රාව පරීක්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා තොගය හමු වී ඇත.

ඇසුරුම් 48ක කේරළ ගංජා කිලෝ 118ක් තිබී ඇති අතර සැකකරුවෝ තිදෙනා යාපනය හා මන්නාරම් ප්‍රදේශයන්හි පදිංචි 32 සහ 36 වයස් සීමාවන්හි පසුවන අය වෙති. අත්අඩංගුවට ගත් සැකකරුවන් කේරළ ගංජා තොගයත් සමඟ යාත්‍රාවද ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරෙයි පොලිසිය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon