වැට් බද්දෙන් 80%ක් විදේශිකයන්ට ආපසු ගෙවන්නේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්නයි - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර

  👤  664 readers have read this article !
By mawbima 2018-09-12

කටුනායක - ටී.කේ.ජී. කපිල

ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදන විදේශීය සංචාරකයන්, රට තුළදී ලබාගත් භාණ්ඩ මත අය කළ, එකතු කළ අගය මත බදු මුදල් (වැට්) ආපසු ගෙවීමේ කවුන්ටරය ඊයේ සවස 5.00ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් විවෘත විය.

මෙම නව ගෙවීම් කවුන්ටරය දවසේ පැය 24 පුරා, වසරේ දින 365ම විදේශීය සංචාරකයන් සඳහා විවෘතව පවතින අතර, මෙය දේශීය ආදයම් දෙපාර්තමේන්තුව මඟින් පවත්වාගෙන යන්නකි.

මෙම අවස්ථාවේදී රැස්ව සිටි පිරිස ඇමැතූ මංගල සමරවීර මහතා මෙසේ කීය. මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවට වැඩිපුර විදේශීය සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා දියත් කරන ලද වැඩසටහනක්. මේ මඟින් මෙම සංචාරකයන් ශ්‍රී ලංකාව තුළදී මිලදී ගත් භාණ්ඩ සඳහා ඔවුන්ගෙන් අය කළ 15%ක එකතු කළ අගය මත බද්දෙන් (වැට්) 80%ක් මෙම කවුන්ටරයෙන් එම සංචාරකයන් සඳහා ආපසු ගෙවනු ලබනවා. ඉතිරි 20% පරිපාලන කටයුතු සඳහා රඳවා තබා ගන්නවා.

"මේ සඳහා මෙම විදේශීය සංචාරකයන් ඔවුන් මිලදී ගත් ආයතන වෙතින් ලබාගත් බිල් පත්‍ර මෙම කවුන්ටරය වෙත ඉදිරිපත් කළ යුතු වෙනවා. ලෝකයේ සෑම දියුණු රටකම මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ මඟින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනවා."

මෙම කවුන්ටරය මඟින් සේවා සැපයීමේදී එක් සංචාරකයකු සඳහා විනාඩි 05ක් වැනි සුළු කාලයක් පමණක් වැය කරන ලෙසද, මේ සඳහා ඉතාමත් සරල ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන ලෙසද දේශීය ආදායම් නිලධාරීන් හට අමාත්‍ය මංගල සමරවීර මහතා පෞද්ගලිකවම උපදෙස් ද දුන්නේය.

මෙම අවස්ථාවේදී මෙම වැට් බදු ආපසු ගෙවීමේ වැඩසටහන සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති ව්‍යාපාරික ආයතන 18ක් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමද අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් සිදුවිය.

මෙම උත්සව අවස්ථාව සඳහා මුදල් සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක, මහා භාණ්ඩාගාරයේ ලේකම් ආර්.එස්.එච්. සමරතුංග යන මහත්වරු ඇතුළු මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන් තොටුපළ උසස් නිලධාරීහු පිරිසක් ද සහභාගි වී සිටියහ.

මෙම කවුන්ටරය ස්ථාපිත කිරීම සඳහා මහත් කැපවීමෙන් ක්‍රියා කළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨ කොමසාරිස් එම්.ජේ. ගුණසිරි මහතා මෙම වැඩසටහන නිමාවට පත් කරමින් සැමට ස්තුතිය පිරිනැමීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon