රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම ස්වතන්ත්‍ර නවකතාව 'යකඩ සිල්පර' හොඳම ස්වතන්ත්‍ර කෙටිකතාව 'ගිහින් එන්න කානිවල්' හොඳම ළමා සාහිත්‍ය කෘතියේත් හොඳම ගීත රචනා සංග්‍රහයේත් කර්තෘ සුනිල් සරත් පෙරේරා

  👤  676 readers have read this article !
By mawbima 2018-09-12

උසස් සාහිත්‍ය රසාස්වාදයක් සඳහා මෙන්ම සමාජ අභිවෘද්ධිය උදෙසා සාහිත්‍යකරණයේ නියැළෙන්නන් අගය කරනු පිණිස පවත්වනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ පැරැණිතම සහ සම්භාවනීයම උත්සවය වශයෙන් මෙය පැවැත්වුණේ 61 වැනි වරටය.

මානව සමාජයේ ප්‍රගමනයට සහ උසස් නිරවුල් රසවින්දනයක් නිර්මාණය කරනු පිණිස සිය ශ්‍රමය කැප කළ අග්‍රගණ්‍ය ලේඛකයන් තිදෙනෙක් මෙහිදී සාහිත්‍ය රත්න සම්මානයෙන් පිදුම් ලැබූහ.

ඒ අනුව සිංහල භාෂාව ඔස්සේ ජන සමාජය සවිඥානික කිරීමට මාහැඟි මෙහෙවරක් ඉටු කළ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස මහතාත්, දෙමළ මාධ්‍යයෙන් සමාජ අභිවෘද්ධිය ඇති කළ සාහිත්‍යධර එම්. පොන්නම්බලම් මහතාත්, ඉංග්‍රීසි භාෂාව තුළින් සිය සාහිත්‍ය මෙහෙවර කළ මහාචාර්ය ගණනාත් ඔබේසේකර මහතාත් මෙලෙස සාහිත්‍ය රත්න සම්මානයෙන් පිදුම් ලැබූහ.

එමෙන්ම 2017 වර්ෂයේ ප්‍රකාශිත ග්‍රන්ථ අතුරින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශිත වැඩිම සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කළ ආයතනයට හිමි සම්මානයෙන් 33 වැනි වරටත් පිදුම් ලැබුවේ එස්. ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශන ආයතනයයි.

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය විමල් උදය හපුගොඩආරච්චිගේ 'යකඩ සිල්පර' ග්‍රන්ථයට පිරිනැමුණු අතර සුමුදු නිරාශී සෙනෙවිරත්නගේ 'ගිහින් එන්න කානිවල්' කෘතිය හොඳම ස්වතන්ත්‍ර කෙටිකතා සංග්‍රහයට හිමි සම්මානය දිනා ගත්තේය.

මෙහිදී පළමු අදියරේ හොඳම ළමා සාහිත්‍ය ග්‍රන්ථය ලෙස සම්මානයට පාත්‍ර වූ 'දේදුන්නක් පායලා' කෘතියත්, හොඳම ගීත රචනා සංග්‍රහය ලෙස සම්මානයට පාත්‍ර වූ' සඳකත්විණ' කෘතියත් ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා මහතාගේ වීම සුවිශේෂීය.

මෙවර හොඳම ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය කෘතිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ පියසිරි මාතරගේ මහතා විසින් රචිත 'හිඹුටුදෙණිය කඳු පා මුලින්' යන කෘතියයි.

හොඳම පිටකවර නිර්මාණයට හිමි සම්මානයට පාත්‍ර වූයේ '121110 වැලිකඩ' කෘතියෙහි පිටකවර නිර්මාණය කළ සංජය අෑපා සෙනෙවිරත්න මහතාය.

පහන් විජේසේකර
ඡායා - අනුරුද්ධ මැදවත්තේගෙදර

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon