මේ දිරිය තරුණයාට ලෝකය දකින්න පිහිට වෙන්න

  👤  2555 readers have read this article !
By mawbima 2018-09-13

මුහුණට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වීමෙන් බරපතළ ලෙස දෑස්වලට හානි සිදුවූ නුවන් ප්‍රසාද් ගැන මීට වසර දහයකට පමණ පෙර මාධ්‍ය මඟින් අනාවරණය විය.

'ඔබගේ ඇස් පෙනීම යළි ලබාගන්න බැහැ. සුදු සැරයටියකට හුරුවෙන්න.' යැයි ශ්‍රී ලංකාවේ බොහෝ අක්‍ෂි ශල්‍ය වෛද්‍යවරුන් නුවන්ට පැවැසූ විට විසි හැවිරිදි වියේ පසුවූ නුවන්ට දැනී ඇත්තේ මුළු ලොවම අහිමි වූවා වැනි හැඟීමකි.

නමුත් ඔහුගේ දෛවය වෙනස් කරමින් මිතුරකුගේ මාර්ගයෙන් ලද තොරතුරක් මත ඉන්දියාවේ නේත්‍රාලය රෝහල ගැන තොරතුරු ලැබීමෙන් නුවන්ගේ සිත තුළ බලාපොරොත්තු දලුලා වැඩුණි. බරපතළ ලෙස දෑස් හානියට ලක්වූවන්ගේ පවා පෙනීම යළි ලබාදෙන සැත්කම් සිදුකරන බවට නේත්‍රාලය රෝහල ප්‍රසිද්ධය.

එහෙත් ඉන්දියාවට යන්නට, සැත්කමක් සිදුකර ගන්නට අවශ්‍ය මුදල් ඔහු අත නොවීය.

බස් රථවල සිඟමන් යදිමින් එකතු කරගත් මුදලත් සමඟ ලද ආධාර මත රෝහලට ගොස් තම දෑස් පෙනීම යළි ලබා ගැනීමේ සැත්කමට මුහුණ දීමට හැකිවිය. පළමුව එක ඇසක පෙනීම ලබාගත් ඔහුට අනෙක් ඇසේද පෙනීම ලබා ගැනීමට වසර දෙක තුනක් සිටිය යුතු බව වෛද්‍යවරු උපදෙස් දී තිබිණි.

මුඛයේ දතක් ගලවා එහි ස්නායු ඇසේ ස්නායු හා සම්බන්ධ කර එසේ සම්බන්ධ කළ ස්ථානයට ගැලවූ දත සවිකරනු ලැබූ මෙම සැත්කම මඟින් පෙනීම ලැබුණද වසරකට වරක් ඉන්දියාවට ගොස් ප්‍රතිකාර ලබාගත යුතුව ඇතැයි නුවන් පවසයි. ඇසිඩ් ප්‍රහාරයෙන් පසු රැකියාවට යෑමට වරම් නොලැබූ ඔහු කුලී වැඩ කරමින් උපයා ගන්නා මුදලින් කීයක් හෝ ඉතිරි කරගෙන ඇසේ පෙනීම රැක ගැනීමට යළි යළිත් ප්‍රතිකාර සඳහා යොමුවීමට වෙර දරයි. එලෙස ඔහු මේ වන විට 36 වතාවක් ඉන්දියාවට ගොස් ඇත.

තවමත් හරිහැටි පෙනීමක් තියෙන්නේ එක ඇසක පමණය. අනෙක් ඇසේ පෙනීම ලබා ගැනීමේ සැත්කම කරගන්න තරම් වත්කමක් තමන්ට නැතැයි නුවන් පවසයි.

"වසර තුනකින් පමණ ප්‍රතිකාර ලබාගැනීමට නේත්‍රාලය රෝහලට යන්න බැරිවුණා. පෙනීම තිබෙන ඇස මේ වන විට දුර්වල වෙමින් යනවා. ප්‍රතිකාර සඳහා රුපියල් ලක්‍ෂ හතරක්වත් ඕනි. මට ස්ථිර රැකියාවක් නැහැ. දවසේ පඩියට පොඩි පොඩි රස්සා කරනවා. මගේ ප්‍රතිකාර සඳහා වැය කරන්න මුදල් නැතිව අම්මා අපේ ගෙයත් ඉඩමත් විකුණා දැම්මා. පසුව පරිත්‍යාගශීලී මහත්ම මහත්මීන් කිහිප දෙනකුගේ උදව්වෙන් දෙල්ගොඩ ප්‍රදේශයෙන්ම අපිට ඉන්න පොඩි ගෙයක් ඉදිකර දුන්නා. එච්චර කැප කිරීම් කරලා මට පෙනීම ගන්න අම්මා මහන්සි වුණා. දැන් මගේ පෙනීම දුර්වල වීගෙන යනවා. ආයෙත් ඉන්දියාවේ යන්න ඕන. 17 වැනිදාට රෝහල්ගත විය යුතුයි.

නුවන් ප්‍රසාද් නමැති මෙම තරුණයා ජීවත්වීමේ ආශාව අත්හැර නැත. ලෝකය දැකීමේ උත්සාහයද අත්හැර නැත. ඔහුට නැවතත් ඔබගේ උදවු අවශ්‍යම මොහොතයි මේ. නුවන් ප්‍රසාද්ට මුදල් ආධාරයක් කරන්නේ නම් ලංකා බැංකුවේ දෙල්ගොඩ ශාඛාවේ ආරම්භ කර ඇති ගිණුම් අංක 71434495 වෙයි. හැටන් නැෂනල් බැංකුව බියගම ශාඛාවේ ආරම්භ කර තිබෙන ගිණුම් අංක 047020089102 වෙත බැරකළ හැකිය. වැඩි විස්තර අවශ්‍ය නම් දුරකථන අංක 072-3717102 හෝ 0771029918 ඇමතීමෙන් නුවන් ප්‍රසාද්ට කතා කළ හැකිය.

සටහන හා ඡායාරූපය
ආරියරත්න ගනේගොඩ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon