තැලසීමියා රෝගී දරු දෙදෙනාට පිහිටක් පතන මවක්

  👤  2605 readers have read this article !
By mawbima 2018-09-13

දමුණුපොළ - චමින්ද ජයලත්

ඇතැම් දරුවන් සුව කළ නොහැකි රෝගාබාධ රැසකින් මෙලොවට බිහිවෙයි. එම සුව කළ නොහැකි රෝගාබාධ නිසා උපදින දරුවාත් මවුපියෝත් සිය ජීවිත කාලය පුරා මහත්සේ සිත් පීඩාවටද පත්වෙති. එහෙත් සමහර මවුපියෝ සිය දිවිය ද පරදුවට තබා තමන්ගේ දුක ජනතාවට ප්‍රකාශ කර ඔවුන්ගේද නොමසුරු සහයෝගය ලබාගෙන දරුවන් සුවපත් කර ගැනීමට මහත් සේ වෙහෙස මහන්සි වෙති. මෙවැනි දරුවන් මෙලොවට බිහිවීමේදී දරුවන්ගේත් මවුපියන්ගේත් කර්ම ශක්තිය පිළිබඳ බුද්ධ දේශනාවේද පැහැදිලිව සඳහන් කර ඇති බව අප දන්නෙමු.

දැදිගම මහපල්ලේගම අංක 08 රජයේ නිවාසයක පදිංචිව සිටින වයස අවුරුදු 13ක හා වයස අවුරුදු 08ක අයියා මලෝ දෙදෙනෙක් උපතින්ම දරුණු තැලසීමියා රෝගයෙන් පෙළෙන බවත් දරුවන්ගේ පියා වසර 08ක පමණ කාලයක සිට ආගිය අතක් නොමැති බවත්, ඔවුන්ගේ මව ද රිය අනතුරකට භාජන වීමෙන් දැඩි අසනීප තත්ත්වයෙන් පෙළෙන බවට ලද තොරතුරකට අනුව මෙම දුක්බර ජීවිත කතාව සොයා අපි ඉකුත්දා ඔවුන්ගේ නිවෙස වෙත ගියෙමු.

කෑගල්ල නෙළුම්දෙණිය හරහා ගලපිටමඩ ප්‍රධාන මාර්ගයේ නෙළුම්දෙණියේ සිට කිලෝමීටර් 08ක් පමණ පසුකළ තැන මහපල්ලේගම ග්‍රාමයේ දකුණු පැත්තට වන්නට 1981දී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් පර්චස් 20ක ඉඩම් කැබැල්ලක් ලබාදී නිවාස 20ක් ද ඉදිකරදී තිබුණු නිවෙසක ඔවුන් දැනට පදිංචිව සිටියි. එම නිවාසවල අංක 08 නිවෙසේ පදිංචිව සිටින්නේ ජී.ජී. සුමිත්‍රා අයිරංගනී (අවු.40) මහත්මියයි. දරුණු තැලසීමියා රෝගයෙන් පෙළෙන ඇගේ පිරිමි දරුවන් දෙදෙනා හා ඇගේ මව වන කේ.පී. සාපින් මැණිකේ (අවු.66) මහත්මියත් පදිංචිව සිටියි.

එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා විසින් දැදිගම මැතිවරණ කොට්ඨාසයේ පැල්පත්වල පදිංචිව සිටි පවුල් 20ක් වෙනුවෙන් මහපල්ලේගම රබර් ඉඩමක පර්චස් 20 බැගින් ප්‍රදානය කර නිවාස තනා එක් නිවෙසක තමන්ව පදිංචි කළ බව සුමිත්‍රා අයිරංගනීගේ මව වූ කේ.පී. සාපින් මැණිකේ මහත්මිය අප සමඟ ප්‍රකාශ කළාය.

සුමිත්‍රා අයිරංගනී 2004 වර්ෂයේ ජනවාරි 27දා දේවාලේගම නවගමුව ප්‍රදේශයේ පදිංචි අශෝක ජයරත්න මහතා සමඟ විවාහ වූවාය.

මෙම යුවළට 2005 ඔක්තෝබර් 15 දින කුලුඳුල් පිරිමි දරුවා ලෙස සෙනුර සුපුන් ජයරත්න උපත ලැබුවේය. යළි වසර 05කට පමණ පසු දෙවැනි පිරිමි දරුවා සහන් චමීර ජයරත්න ද ඔවුන්ගේ කැදැල්ලට එක්විය. දෙවැනි පිරිමි දරුවා මෙලොවට බිහිවීමට සති දෙකකට පෙර අශෝක ජයරත්න ආගිය අතක් නොමැති විය. පසුව ඇය සිය සැමියා පිළිබඳ දැදිගම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු අධිකරණ නියෝගයක් මත ඔහුව සොයාගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. පසුව දරු දෙදෙනාට නඩත්තු මුදල් ලෙස මසකට රු. 6000ක මුදලක් ඔහුට ගෙවීමට සිදුවිය.

අශෝක ජයරත්න මාස 03ක් නඩත්තු මුදල් ගෙවා ඇති අතර යළි එදා සිට ආගිය අතක් නැතිව ගියේය. සුමිත්‍රා අයිරංගනීද පසුව සිය සැමියා පිළිබඳ සොයා බැලීම පසක තබා දරු දෙදෙනාගේ රෝගී තත්ත්වයට නිසි ප්‍රතිකාර ලබාදීමට දිවා රෑ වෙහෙස මහන්සි වූවාය. ගම්වාසීන්ගේ උපකාර මත ඇය දරු දෙදෙනා ලොකු මහත් කර ගත්තාය. දරුවන් දෙදෙනාම දැනට මහපල්ලේගම සේනානායක විද්‍යාලයේ අධ්‍යාපනය ලබති.

සුමිත්‍රා අයිරංගනී මහත්මිය සිය දරු දෙදෙනාගේ දරුණු රෝගී තත්ත්වය පිළිබඳ මෙසේ ප්‍රකාශ කළාය.

දරුවෝ දෙන්නටම තැලසීමියා රෝගය වැලඳී තිබෙනවා. එයින් පොඩි පුතාට රෝගී තත්ත්වය උපන්දා සිට දරුණු ලෙස පවතිනවා. දරු දෙදෙනාටම දැනට කුරුණෑගල මහ රෝහලේ තැලසීමියා ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර කරනවා. පොඩි පුතා මාස්පතා රෝහලට ගෙන ගොස් ලේ දෙනවා. 2012 වර්ෂයේ පොඩි පුතා අරන් මම බස් රථයෙන් කුරුණෑගලට යනකොට අලව්ව පොලිසිය ආසන්නයේදී අපි ගමන් කරමින් සිටි බස් රථය ලොරියක හැප්පිලා මගේ මුහුණ තුවාල වුණා. පසුව මාව රෝහල්ගත කර තිබුණා. ඒ හේතුවෙන් ශරීරයේ ස්නායු දැනට තදවෙලා කියලා වෛද්‍යවරු කීවා. ඒ නිසා අත් දෙකයි කකුල් දෙකයි පණ නැහැ. අත් දෙකෙන් බරක් උස්සලා වැඩක් කරන්න බැහැ. තවමත් කෑගල්ල මහ රෝහලේ සායනයකින් ප්‍රතිකාර ලබාගන්නවා.

ලොකු පුතා සෙනුර සුපුන් කොපමණ අසනීප තිබුණත් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 140ක් අරන් තිබුණා. දැන් 8 පන්තියේ ඉගෙනුම ලබනවා. අමතර පන්තියකට යවලා මට උගන්වන්න ඕනකමක් තිබුණත් ඊට වැය කරන්න මට මුදල් නැහැ. පොඩි පුතාට මාස්පතා කුරුණෑගල මහ රෝහලේ තැලසීමියා ඒකකයෙන් ලේ දෙනවා. සැමදාම උදේ හිස්බඩට පුතාට පෙති හතක් බොන්න දෙනවා.

රාත්‍රි 7.00ට නැවත කුප්පි දෙකක බෙහෙත් සිරින්ජරයක දමා එම සිරින්ජරය පුතාට සවිකර කටුවක් ගහලා බෙහෙත් දෙනවා. වෛද්‍යවරු කීවා පුතාගේ ඇඟේ යකඩ දියවෙන්න තමා රෑට බෙහෙත් දෙන්නේ. මාසයකට දරු දෙදෙනාගේ බෙහෙත්වලට පමණක් රුපියල් 20,000ක් පමණ වැය වෙනවා. ගමේ අය හැමදෙනාම මටයි අම්මටයි, දරු දෙන්නටයි සලකනවා. ඒ අය නැති නම් අද පොඩි පුතා ජීවතුන් අතරත් නැහැ. මට මාසයකට සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් රුපියල් 1500 මුදලක් ලැබෙනවා. සමෘද්ධි සහනාධාර රුපියල් 3000 ලැබෙනවා. ඉස්සර නම් කුලීවැඩට ගියා. දැන් යන්න බැහැ අතපය පණ නැහැ.

පොඩි පුතාට මෙච්චරකල් ලේ ලබාදුන්නා. ඊට පස්සේ රෝහලින් කීවා ලේ හිඟයක් පවතිනවා පුළුවන් නම් අසල්වාසීන් ගෙන්නලා රෝහලට ලේ ලබාදෙන්න කියලා. පසුව ගමේ හය දෙනෙක් පසුගිය 25දා වෑන් එකෙන් ගිහින් රෝහලට ලේ දීලා ආවා. ඒ තරමටම ගමේ අය අපට උදවු කරනවා. අපේ අසරණ භාවය ගැන සලකා බලා පින්වත් ඔබට පුළුවන් ආකාරයකට උදවු උපකාර කරන්න කියලා ලියා තබන ලෙස සුමිත්‍රා අයිරංගනී අපෙන් ඉල්ලීමක් කළාය.

මහජන බැංකුව ගලපිටමඩ ශාඛාවේ ජී.ජී.එස්. අයිරංගනීගේ නමට ඇති ගිණුම් අංක 054-2-001-7-0004387 දරන ගිණුම් අංකයට මුදල් බැරකළ හැකි අතර වැඩි විස්තර 0355789675 දරන දුරකථනයෙන් සුමිත්‍රා අයිරංගනීගෙන් ඔබට දැනගත හැකිය.

 

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon