ප්‍රශ්නය තියෙන්නේ මෙතැන නොවෙයි: වෙන තැනක

  👤  2522 readers have read this article !
By mawbima 2018-09-13

'අපි පාසල් යන කාලේ සපත්තු දැම්මේ නෑ. පොළොන්නරුවේ රාජකීය විද්‍යාලයට ඇතුළු වෙද්දී සපත්තු දාන්න ඕනෑ කිව්වා. අපිට පාසලට යන්න බස් තිබුණේ නෑ. පොත් කියවන්න විදුලිය තිබුණෙත් නෑ. ඒ විතරක් නෙවෙයි බුදුන් වඳින්න ගමට පන්සලක්වත් තිබුණේ නෑ. මේ දරුවන්ට හැදෙන්න අපි ගත කළ දුෂ්කර ජීවිතය ගැන නොකියාම බෑ' යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා එසේ පැවැසුවේ හම්බන්තොට කොටවාය මහා විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරය සහිත දෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට එක් වෙමිනි.
එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

ගත වූ දශක කිහිපය තුළ සෑම ආණ්ඩුවක්ම විවිධ වූ වෙනස්කම්වලට අධ්‍යාපනය භාජන කරලා තිබෙනවා. චන්දිමා රාසපුත්‍ර ඇමැතිතුමා මගෙන් ඉල්ලීමක් කළා. එතුමා කිව්වා අධ්‍යාපනයට අපි පසුගිය රජයන්ට වඩා වැඩි මුදලක් වෙන් කරලා තිබෙන බව. අධ්‍යාපනයට වෙන් කරලා තිබෙන මුදල් කොතෙක්ද කියන එක ගණන් බලන්න ඕනෑ. අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමැතිතුමාගේ අධ්‍යාපන අමාත්‍යාංශයටයි පළාත් සභාවල අධ්‍යාපන අමාත්‍යාංශවලටයි වෙන් කරලා තිබෙන මුදල් පමණක් නොවෙයි. අපි උසස් අධ්‍යාපනයට, විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වෙන් කරලා තිබෙන මුදල සෙසු දශකවලට වඩා වැඩියි.

මීට පෙර කිසිම ආණ්ඩුවක් නොකළ කාර්යයක් අපේ ආණ්ඩුව කළා. වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට අයත් සියලු අධ්‍යාපන ආයතන, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවලට යන දරුවෝ මාස්පතා සල්ලි ගෙවන්න ඕනෑ. නමුත් අපි 2016 අවුරුද්දේ සිට ලංකාවේ වෘත්තීය පුහුණු අධ්‍යාපනය ලබන දරුවන් මාසිකව ගෙවන වියදමෙන් නිදහස් කෙරුවා. රුපියල් කෝටි 700ක් වියදම් කරලා නෙදර්ලන්ත ආධාර යටතේ හදන වෘත්තීය පුහුණු අධ්‍යාපන ආයතනයකට දැන් දවස් දෙකකට කලින් පොළොන්නරුවේදී මම මුල්ගල් තිබ්බා.

විවිධ ආර්ථික රටාවන් සහ ආර්ථික ක්‍රමවේදයන් සහ තාක්‍ෂණික දැනුමත් සමඟ ඉදිරියට යෑමේදී හරිත ආර්ථිකය, නවෝත්පාදන ආර්ථිකය, නීල ආර්ථිකය වැනි ආර්ථික විද්‍යාවේ විවිධ ක්‍ෂේත්‍ර ගණනාවක් පිළිබඳව අපි කතා කරනවා. ලෝකයේ අනෙක් ජාතීන් සමඟ දෙවැනි නොවන මහ ප්‍රබුද්ධ ජාතියක් විදියට ගොඩනැඟෙන්න අපි ඒ ආයෝජනය පුළුල් කරලා තිබෙනවා. ප්‍රශ්නය තිබෙන්නේ මෙතැන නොවෙයි. ප්‍රශ්නය තිබෙන්නේ වෙන තැනක. විභාග ප්‍රතිඵලවලින් අපේ රට ඉතාමත් ඉහළ තැනක සිටිනවා. ඉතාමත් දක්‍ෂ උගතුන් බිහි වෙනවා. දශක හතකට වැඩි කාලය තුළ නිදහස් අධ්‍යාපනය නිසා ලබා ඇති ප්‍රතිඵල ඉතාමත් විශිෂ්ටයි. විභාග සමත් වෙන හැම කෙනෙක්ම ජීවිතය සමත් වෙන්න දන්නවා නම් මේ රටේ ප්‍රශ්න නැහැ. විභාග සමත් වෙන්න දන්න හැම කෙනෙක්ම ජීවිත සමත් වෙනවා නම් ලෝකයේ විවිධ ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් පෙන්වන දර්ශක අතරේ ජාත්‍යන්තරයේ අපි මීට වඩා හොඳ තැනක ඉන්න ඕනෑ.

ජාත්‍යන්තර දර්ශක තුළ මහ අනුවේදනීය කතාවක් තිබෙනවා. අපි කොතැනද ඉන්නේ. ලෝකයේ සියදිවි නසාගැනීම් අතින් අපි ඉන්නේ 02 වැනි හෝ 03 වැනි ස්ථානයක. විභාග සමත්වීමේ ප්‍රතිඵලය තිබෙනවා. ජීවිතය සමත් වෙලා තිබෙනවාද? ලංකාවේ සියදිවි නසාගන්න අය අතරේ පාසල් දරුවෝ කොච්චර ඉන්නවාද? මම පාසල්වල නම් කියන්නේ නැහැ. ඒ පාසල්වලට අගෞරවයක් වන නිසා. අපේ රට ලෝකයේ නිදහස් සෞඛ්‍ය සේවාව තිබෙන රටක්. විභාග සමත් වුණු ගණනට තමන්ගේ සෞඛ්‍ය ගැන මිනිස්සු හිතලා තිබෙනවා නම් ජාත්‍යන්තර සෞඛ්‍ය දර්ශක තුළ අපි ඉන්න ඕනෑ මීට වඩා බොහෝ ඉහළ ස්ථානයක. යුද්ධය තිබුණු රටක් විදියට ලංකාවේ ආබාධිතයන්ගේ සංඛ්‍යාව වැඩි වෙලා තිබෙනවා. ආබාධිතයන්ගේ සංඛ්‍යාව 18%ක් පමණ වෙනවා. කණ්ණාඩි දාන සේරම මමත් එක්ක ආබාධිතයි. ලංකාවේ විභාග සමත් වෙන ගණනට සංවර්ධනයේ ප්‍රතිඵල පෙන්වලා තිබෙනවාද විභාග සමත්වීමත් එක්ක. ඒ අපේ තිබෙන ආකල්පවල ප්‍රශ්නයක්.

විශ්වවිද්‍යාලවල අද දරුවන්ට කරන නින්දිත හිරිහැරවලට විරුද්ධව මවුපියෝ අවදි වෙන්න ඕනෑ. මේවා සම්බන්ධයෙන් ගුරුවරු අවදි වෙන්න ඕනෑ. මේ රටේ උගතුන් කියන හැම කෙනෙක්ම මේවාට පෙරමුණ ගන්න ඕනෑ.
මේ රටේ දුප්පත්කම ඇයි? මේ රටේ අගහිඟකම් ඇයි? මේ රටේ දුප්පත් ජනතාව තමයි වැඩිපුර මත්ද්‍රව්‍යවලට වියදම් කරන්නේ. මේ රටේ වැඩිපුර අරක්කු බොන්නේ, වැඩිපුරම සිගරැට් බොන්නේ, වැඩිපුරම කසිප්පු බොන්නේ, වැඩිපුරම ගංජා උරන්නේ දුප්පත් ජනතාව. ලංකාවේ දුප්පත්කම වර්ධනය වෙන්න ප්‍රධාන හේතුව මත්ද්‍රව්‍ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon