අපි අතට ගත්තේ වස පිරවූ කෝප්පයක්

  👤  2875 readers have read this article !
By mawbima 2018-09-13

රට ඉදිරියට ගෙන යෑමට අපහසු බව දැන දැනත් අප ආණ්ඩු බලය ලබා ගත්තේ ජනතාවට සහන ලබාදී රට දියුණු කිරීම සඳහායි. සියලු අපහසුතා මධ්‍යයේ අප ඉදිරියට යනවා. ආර්ථිකයක් බිඳ දැමීමට ගතවන්නේ කෙටි කාලයක් වුවත් ආර්ථිකයක් ගොඩනැඟීමට වසර ගණනාවක් ගත වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා එසේ පැවැසුවේ මහනුවර දිස්ත්‍රිත් බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමිනි.
එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය.
මහනුවරට පැමිණ එක්සත් ජාතික පාක්ෂිකයන් අමතන බවට පසුගිය මැයි දිනයේදී මා පොරොන්දු වුණා. මහනුවර යනු එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක්. ඉදිරියේදී අපට පළාත් සභා මැතිවරණයට මුහුණදීමට තිබෙනවා. එම නිසා මහනුවර දිස්ත්‍රික්කය තුළ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කර ගනිමින් ශක්තිමත්ව ඉදිරියට යා යුතුයි.

පසුගිය මැයි දින රැලියට සහභාගි වූ සියලු දෙනාගේ සිත්වල තිබුණේ පළාත් පාලන මැතිවරණයේදී අප ලද පරාජයයි. එම පරාජයත් සමඟ අපේ පක්ෂයට විශාල පහරක් වැදුණා. එම පරාජයෙන් නැවත ගොඩ ඒමට හැකියාවක් තිබේද, දේශපාලනිකව අප ඇද වැටිලාද, ආදී බලාපොරොත්තු රහිත වූ ස්වභාවයක් බොහෝ අය තුළ තිබුණා. පුවත්පත්, රූපවාහිනි ආදී සියලුම මාධ්‍ය ආයතන පවා පැවැසුවේ එක්සත් ජාතික පක්ෂය අවසන් බවයි. අපි ඉදිරියට පැමිණියේ එවන් තත්ත්වයක් තුළයි.

රට දියුණු කිරීමෙන් පසුව එළැඹෙන මැතිවරණයෙන්ද ජයග්‍රහණය ලබාගෙන රට පාලනය කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරනවා.
වසර 6ක කාලයක් ජනාධිපති ධුරය දැරීමට හැකියාව තිබිය දී වසර හතරකින් ජනාධිපතිවරණයක් පවත්වන අයෙක් එක්කෝ පිස්සෙක් විය යුතුයි.

නැති නම් ඔහු ආණ්ඩු පාලනය ගැන නොදන්නා, ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට නොහැකි අයකු විය යුතුයි. මහින්ද රාජපක්ෂ මහතා යනු පිස්සෙක් නෙවෙයි. නමුත් ආණ්ඩුව කරගෙන යෑමට ඔහුට නොහැකි වුණා. අප ආණ්ඩු බලය භාරගන්නා විට එය වස පිරවූ කෝප්පයක් අතට ගන්නවා වැනි කාර්යයක් වුණා.

මේ සියලු අපහසුතා මධ්‍යයේ වුවත් ජනතාව අනවශ්‍ය ලෙස පීඩාවට පත් කිරීමට අප කටයුතු කළේ නැහැ.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව අපේ ආණ්ඩුව යටතේ සිදු වූ අඩුපාඩු පිළිබඳව අපේ අවධානය යොමු කළා. මැතිවරණයෙන් ජනතාව ලබාදුන් පණිවුඩය තේරුම් ගනිමින් එම දුර්වලතා මඟහරවා ගැනීමට අපි කටයුතු කළා. ඉදිරි කාලය තුළ, ආණ්ඩුවක් ලෙස තවත් වැඩකටයුතු රාශියක් සිදු කිරීමට තිබෙනවා.

ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ට අවශ්‍ය මුදල් දැන් ලබාදී තිබෙනවා. ගම්පෙරළිය වැඩසටහන සඳහා අවශ්‍ය මුදල් ලබා දී තිබෙනවා. කුඩා ව්‍යාවසායකයන්ට ආධාර උපකාර කිරීම වෙනුවෙන් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කර තිබෙනවා.
රටේ ජනතාවට රැකියා ලබාදීම අපි දැන් ආරම්භ කර තිබෙනවා. උපාධිධාරීන් රැකියා පුහුණුවීම් සඳහා බ¼දවා ගනිමින් සිටිනවා. ආරම්භයක් ලෙස මෙම කටයුතු ප්‍රමාණවත් යැයි මම සිතනවා.

මෙම වැඩකටයුතු එක් වසරකින් සිදු කර අවසන් කිරීමට හැකි බව මම කියන්නේ නැහැ. නමුත් මේ සියල්ල ඉටුකරමින් අප ඉදිරියට යා යුතුයි. 1977 ආරම්භ කළ වැඩපිළිවෙළ තුළින් රටේ ආර්ථික දියුණුව ඇති කිරීමට වසර 17ක් ගතවුණා. ආර්ථිකයක් බිඳ දැමීමට ගත වන්නේ කෙටි කාලයක් වුවත් ආර්ථිකයක් ගොඩනැඟීමට වසර ගණනාවක් ගත වෙනවා.

අද ලෝකයේ තිබෙන්නේ දැනුම පදනම් කරගත් ආර්ථිකයක්. ඒ අනුව අප ඉදිරියට යා යුතුයි. මේ වැඩකටයුතු සිදු කරද්දී අපට චෝදනා එල්ල වන බව මා දන්නවා. විවේචන නොමැතිව කිසිවක් සිදුකළ නොහැකියි. 'පොහොට්ටුව' දැන් රට වෙනුවෙන් කරමින් සිටින්නේ මොනවාද? රටේ ජනතාවට ලබාදී තිබෙන පරමාධිපත්‍ය බලය ඔවුන් බේබද්දන්ට ලබාදී තිබෙනවා.

නමුත් මේ සියලු අපහසුතා මධ්‍යයේ අප ඉදිරියට යනවා. ජනතාවගේ බලාපොරොත්තු සියයට සියයකින් ඉටුකිරීමට නොහැකි වුණත් ඉන් බහුතරය ඉටු කරන බව ජනතාව දන්නවා.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon