20-ජවිපෙ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද එය UNP-TNA හවුල සකස් කළ එකක්

  👤  2679 readers have read this article !
By mawbima 2018-09-13

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද එය සකස් කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය විසින් බව ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි "මව්බිම" පුවත්පතට ප්‍රකාශ කළේය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි 7 වැනි පෙත්සම ලෙස නීතිඥ පාලිත සේනාධීර මහතා පෙරේදා ශේ්‍රෂ්ඨාධිකරණයට ගොනු කරන ලද පෙත්සමෙහි මෙම කරුණු සඳහන් කර තිබෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි මහතා පෙන්වා දුන්නේය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මෙම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද එය සකස් කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් බව සිසිර ජයකොඩි ප්‍රකාශ කරයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කොළේ වසා ගැහුවා සේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්ද උත්සාහ කරන්නේ කොළේ වසා ගැසීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි මහතා පෙන්වා දෙයි.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විධායක ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන පළාත් ආණ්ඩුකාරවරයාට හිමි බලතල කප්පාදු කොට එම බලය කැබිනට් මණ්ඩලය වෙත ලබාදීමට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සැලසුම් කර තිබෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි ප්‍රකාශ කරයි.

එමඟින් රට ෆෙඩරල් පාලනයක් කරා ගෙනයෑමට අවශ්‍ය පිඹුරුපත් සකස් කර තිබෙන නිසා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගතයුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කරයි.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එදා විරුද්ධ වී මේ රටේ තරුණ තරුණියන් 60,000කගේ ජීවිත පරිත්‍යාග කිරීමට මැදිහත් වූ දේශපාලන ව්‍යාපාරයක් වන ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් විසින්ම රට ෆෙඩරල් කිරීම සඳහා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීම මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ විශාලතම පාවාදීමක් වශයෙන් හැඳින්විය හැකි බවද වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon