ලක්ෂ 35කට වඩා වටිනා හෙරොයින් සමඟ සැකකරුවන් අත්අඩංගුවේ

  👤  2508 readers have read this article !
By mawbima 2018-09-13

යන්තම්පලාව - විජේසිංහ වැලිකන්ද

වෑන් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කර බෙදාහරින බවට කුරුණෑගල පොලිසියට ලැබුණු තොරතුරක් මත කුරුණෑගල-නුවර පාරේ පිලීකඩ ප්‍රදේශයේදී පෙරේදා (11දා) සවස 5.30ට පමණ සැකකටයුතු වාහනයක් නතර කරන ලෙස පොලිසිය සංඥා කළත් අණ නොතකා ධාවනය කළ වෑන් රථයට වෙඩි තබා රුපියල් ලක්ෂ 35කට වැඩි වටිනා හෙරොයින් මත්කුඩු සමඟ සැකකරුවන් 4 දෙනකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 34ක ප්‍රමාණයක් තිබුණු බවත් ඊට අමතරව රුපියල් 18,000ක මුදලක් සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී ඔවුන් දිගන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් එහි ප්‍රධාන සැකකරු වැඩ තහනමට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරයකු බවත් ඔහු 2009 වර්ෂයේ ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සේවය කරමින් සිටියදී මෙවැනිම සිද්ධියකට වැඩ තහනම් වූ අයකු බවද හෙළි වී ඇත.

මෙම සැකකරුවන් කලක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවත් කොළඹ ප්‍රදේශයේ සිට රැගෙන විත් කුඩු ජාවාරම් කරන පුද්ගලයන්ට බෙදාහැරීම සිදු කරන බවත් මූලස්ථාන පොලිස් පරීක්ෂක මංගල වික්‍රමනායක මහතාට ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් පසු ඊයේ (12දා) කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රධාන මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා විසින් ලබන 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කුරුණෑගල කොට්ඨාස වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත පොලිස් අධිකාරි මහින්ද දිසානායක, සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක, මූලස්ථාන පොලිස් පරීක්ෂක මංගල වික්‍රමනායක මහතාගේ මෙහෙයවීමෙන් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහින්ද ප්‍රේමතිලක මහතා ඇතුළු පොලිස් සැරයන් චන්ද්‍රසේන (23677), පොලිස් සැරයන් කරුණාරත්න (5286), පොලිස් කොස්තාපල් ප්‍රදීප් (50324), පොලිස් කොස්තාපල් චන්ද්‍රරත්න (58147), පොලිස් කොස්තාපල් කීර්ති (36757), පොලිස් ආරක්ෂක සහායකවරුන් වන අනිල් (2331) සහ විපුල (389) යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර සැකකරුවන් සමඟ භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon