උෟව පළාතේ රෝහල්වල සෞඛ්‍ය කාර්ය සහායක නිලධාරීන් වර්ජනයක

  👤  2543 readers have read this article !
By mawbima 2018-09-13

මහියංගණ - රංජිත් කරුණාවීර


"ආණ්ඩුව හැම වෙලේම කියන්නේ නම් අපි වැඩ කරනවා කිසිම ගැටලුවක් නෑ කියලා. එහෙම කරලා තියෙනවා නම් මේ රෝහල්වල සේවකයේ හැමදාමත් වැඩ වර්ජනය කරයිද? වැඩ කරපු ටිකටවත් සල්ලි හම්බ වෙන්නේ නෑ කියලා ඒ අය අදත් වැඩ කරන්නේ නෑ. වැඩ කරපු ටිකටවත් සල්ලි දුන්නා නම් අද මේ අය මෙහෙම වැඩ නොකර ඉන්නේ නෑ. කන්නෙ බොන්නේ නැතිව දුර ඉඳලා උදේ පාන්දර ඉඳලා ආපු අය බෙහෙත් ටික ගන්න බැරිව පෝලිම් ගානේ රස්තියාදු වෙනවා" යැයි රෝහල් සුළු සේවකයන්ගේ වැඩ වර්ජනයක් හේතුවෙන් සිය කාර්යය සිදු කර ගැනීමට නොහැකිව පීඩාවට පත්වූ ආදිවාසී නායක වන්නිලා ඇත්තන් එලෙස ප්‍රකාශ කර සිටියේය. වන්නිලා ඇත්තන්ද රුධිර සාම්පලයක් පරීක්ෂා කර ගැනීම සඳහා මහියංගණ මූලික රෝහල වෙත පැමිණ එම කාර්යය කර ගැනීමට නොහැකිව දිගු පෝලිම්වල රැඳෙමින් රස්තියාදු වන ආකාරය දැකගත හැකි විය.


උෟව පළාත් සභාවට අයත් බදුල්ල හා මොනරාගල යන දිස්ත්‍රික්ක දෙකෙහි සියලු රෝහල්වල සෞඛ්‍ය කාර්ය සහායක සහායිකාවන් සියල්ල ඊයේ (12දා) උදෑසන 08.00 සිට වැඩ වර්ජනය කිරීම හේතුවෙන් රෝහල් රැසක සේවා රැසක් ඇනහිට ඇත.


විරෝධතාව හේතුවෙන් බදුල්ල හා මොනරාගල යන දිස්ත්‍රික්ක දෙකෙහි රෝහල් රැසක රෝගී ප්‍රතිකාර සේවා හා සායන රැසක් නිසියාකාරව සිදු නොවීම හේතුවෙන් රෝගාතුරව ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් විශාල ප්‍රමාණයක් පීඩාවට පත් විය.


වැඩ වැරීමට හේතු වූ කරුණු වන්නේ සියලු රෝහල්වල සෞඛ්‍ය කාර්ය සහායක සහායිකාවන්ගේ අතිකාල දීමනා කප්පාදු කිරීම හා සිදු කළ අතිකාල දීමනා සඳහා ගෙවීම් නොකිරීම, ශේ‍ර්ණි උසස්වීම් අඛණ්ඩව නියමිත කාලයට සිද්ධ නොකිරීම, පුහුණු කිරීමකින් තොරව අනවශ්‍ය රාජකාරි සිදු කර ගැනීමෙන් රෝගීන් හට බරපතළ අසාධාරණයක් සිදු කිරීම හා ආයතන ප්‍රධානීන් විසින් විවිධ පළිගැනීම් සිදු කිරීම ආදියයි. වසර 04කට අධික කාලයක් බලධාරීන් සමඟ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළද විසඳුම් නොලැබුණු බව වැඩ වර්ජනයේ නිරත පිරිස පවසති.


තුණ්ඩු නිකුත් කිරීම, ඇතුළත් කර ගැනීම්, වෛද්‍යවරුන්ට රෝගීන් බැලීමේදී සහාය වීම්, රෝගීන් විවිධ කටයුතු සඳහා විවිධ අංශ වෙත රැගෙන යෑම්, ශල්‍යාගාර සේවාවන්, වකුගඩු රෝගී රුධිර පෙරණ කටයුතු සූතිකාගාර සේවාවන් ආදී සේවාවන් රැසක් අද දිනයේ සිදු නොවීම නිසා රෝගීන් හා වෛද්‍යවරුන්ද පීඩාවට පත්විය. මහියංගණ රෝහලේ සේවාවන් රැසක්ද වෙනත් රෝහල්වල සේම අඩාල වී ඇති බව දක්නට ලැබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon