‘මව්බිම’ කාටූන් ශිල්පී එම්.ඩී. වීරරත්නට උපන් ගමෙන් උපහාර එම්.ඩී. කියන්නේ දුර්ලභ වස්තුවක් කෑලිගම විජිතසේන නාහිමි

  👤  2589 readers have read this article !
By mawbima 2018-09-13

"ශූරයකු බිහිවන්නේ දක්ෂයන් සිය දහස් ගණනක් අතරින්. ඒ වගේම දුර්ලභව සිදුවන්නක් කාටූන් සූර එම්.ඩී. වීරරත්න මහතාත් එබඳු දුර්ලභ ගණයේ වස්තුවක්. එවැනි පුද්ගලයන් විශිෂ්ටයන් අගය කිරීම බුදුන් වහන්සේත් අනුදැන වදාළා. එතුළින් ඔවුන් තව තවත් තම දක්ෂතා සමාජයට එළි කිරීමට උනන්දු වෙනවා" යැයි රත්නපුර මහවෙල ධර්මායතනාධිපති ශාස්ත්‍රපති ග්‍රන්ථ විශාරද සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක කෑලිගම විජිතනන්ද නාහිමියෝ පැවැසූහ.


උන්වහන්සේ එසේ පැවැසුවේ 2017 වසරේ විශිෂ්ටතම කාටූන් ශිල්පියා ලෙස ජාතික මට්ටමින් සම්මානයට පාත්‍ර වුණු එම්.ඩී. වීරරත්න මහතාට උපහාර දැක්වීම වෙනුවෙන් ඔහු උපන් රත්නපුර ගලබඩ මීගස්තැන්න ගමේ ජනතාව විසින් සංවිධානය කර තිබුණු උපහාර උත්සවයකට සහභාගි වෙමිනි.


ගලබඩ ශ්‍රී ඥානාභිවංශ විහාරස්ථානයේදී ඉකුත් 9දා පැවැති එම උපහාර උළෙලට සහභාගි වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ කියා සිටියහ. "අප අතර නිර්මාණකරණයේ විශිෂ්ටයන් සිටිනවා. සිංහලයන්ගේ නිර්මාණ දක්ෂතා අතීතයේ සිටම විදහා තිබෙනවා. වාරි කර්මාන්තයේ එන බිසෝකොටුව එවැනි නිර්මාණයක්. අදටත් එය අභිභවා යන නිර්මාණයක් නැහැ.
එම්.ඩී. වීරරත්න කාටූන් ශිල්පියාගේ කාටූන් තුළින් ඔහුගේ නිර්මාණාත්මක හැකියාව මුළු රටටම පෙන්වනවා. ගලබඩ මීගස්තැන්න වගේ හද්ද පිටිසර ගමක මෙවැනි විශිෂ්ට ගණයේ නිර්මාණකරුවකු බිහිවීම ගමට පමණක් නෙවෙයි මුළු පළාතටම ආරම්භයක්. ඒවගේම ඔහුගේ දක්ෂතා එළි දක්වන්න ඔහු විශිෂ්ටයකු ලෙස නඟා සිටුවන්න මුල් වුණු 'මව්බිම' පුවත්පතටත් එහි කතුතුමන් ඇතුළු සැමටත් අප ස්තුතිවන්ත වෙනවා."


සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය


"එම්.ඩී. වීරරත්න කාටූන් ශිල්පියාගේ නිර්මාණ ඉතාම ඉහළයි. ඒවා කියවා රස විඳිද්දී නිතරම හිතුවා කවදා හෝ ඔහුව දකින්න ලැබුණොත් කියා. අද ඒ වාසනාව ලැබුණා. ජනතාවගේ සිතුම් පැතුම් රුචි අරුචිකම් බුද්ධිමත්ව වටහාගෙන තම නිර්මාණ තුළින් එළි දැක්වීමට කාටූන් ශිල්පියකුට ඇති හැකියාව ඉතාම ඉහළයි. එම්.ඩී. වීරරත්න ශිල්පියා එම දක්ෂතාවයේත් විශිෂ්ටයෙක්. අපේ පළාතටම ලොකු ගෞරවයක්. අද ඔහුගේ දක්ෂතා ගැන මුළු රටම කතා කරනවා. සබරගමුව පළාතේ ජනතාව වෙනුවෙන් ඔහුගේ විශිෂ්ටතාව අගය කරමින් සබරගමුව පළාත් සභා අරමුදලින් රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රදානය කිරීමට මම තීරණය කළා.


ඉරිදා 'මව්බිම' හා දිනපතා 'මව්බිම' ප්‍රධාන කර්තෘ බෙනට් රූපසිංහ


රත්නපුරය මැණික් නිසා ලෝක පූජිතයි. ඒ වගේම ගලබඩ මීගස්තැන්න ගමත් ඒ එම්.ඩී. වීරරත්න නම් වූ කාටූන් ශිල්පියාව බිහිකරමින් ලෝක පූජිතව තිබෙනවා. එම්.ඩී. ගේ විශිෂ්ට දක්ෂතා 'මව්බිම' පුවත්පත හඳුනා ගත්තා. ඒ නිසායි අපි ඔහුව අපේ ප්‍රධානම කාටූන් ශිල්පියා කරගත්තේ. ඒ වගේම ඔහුගේ නිර්මාණ ජාතික මට්ටමින් ඇගැයීමට කටයුතු කළේ එහිදී ඔහුව 2017 වසරේ විශිෂ්ටතම කාටූන් ශිල්පියා ලෙස ඇගැයීමට ලක්වීම එම්.ඩී.ට පමණක් නෙවෙයි ඔහු උපන් ගමට පමණක් නෙවෙයි 'මව්බිම'ටත් විශාල ආඩම්බරයක්.
කාටූන් ශිල්පියා පුවත්පතක ප්‍රධානතම කොටස්කාරයා. කතුවැකි කීපයකින් කියන දෙය ඔහුට රේඛා කීපයකින් සිදුකළ හැකියි. කාටූන් ශිල්පීන් ජාත්‍යන්තර කීර්තියට පත්වෙනවා. ඔවුන්ගේ නිර්මාණ නිසා. ඒ ඒ කාටූන් ශිල්පියාට උරුම ශෛලීන් තියෙනවා, චරිත තියෙනවා. එම්.ඩී. ගේ මරිසිපාලත් ඒ වගෙයි.


කාටූන් ශිල්පීන් උපහාරයට පමණක් නෙවෙයි උදහසටත් ලක්වෙන අවස්ථා තිබෙනවා. මොකද කාටූන් ශිල්පියාගේ ප්‍රධාන ඉලක්කය දේශපාලකයා යි. අපහාසයකින් තොරව උපහාසය ඇති කරවන විදියේ කාටූන් නිර්මාණ තුළ විෂය වන පුද්ගලයාගේ පවා කාටූන් ශිල්පියා ප්‍රසංසාවට පත් වෙනවා.


සර් ජෝන්, ජේ.ආර්., ආර්. ප්‍රේමදාස, වගේ දේශපාලන නායකයන් කාටූන් ශිල්පීන්ව අගය කළා. ඒත් අද වෙද්දී ඒ තත්ත්වය තරමක් වෙනස්. ජීවිතවලට පවා තර්ජන එල්ලවෙන අවස්ථා නැතිව නෙවෙයි. රස විඳීමේ සංවේදීතාවක් නොමැති වුණහමයි එසේ වෙන්නේ.


ඒ වගේම ජනතාවගේ විරෝධය නොනැඟෙන ආකාරයට එය සිදුවිය යුතුයි. සුප්‍රකට සම්භාවනීය චරිත දේශපාලන හේතූන් මත වුණත් අපහාසයට ලක්වෙන්න ඇඳපු නිසා රටේ ඉන්නත් බැරිව ගිය ප්‍රකට කාටූන් ශිල්පියකුද සිටි බව මට මේ මොහොතේ සිහිපත් වෙනවා.


රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.ඒ. විජයතුංග, හිටපු පළාත් සභා මන්ත්‍රින් වන සමිත ආටිගල, ඉෆ්ලර් යෙහියා සහ ගණනාත වීරරත්න මහත්වරුද එහිදී අදහස් දැක්වූහ. ප්‍රදේශයේ විවිධ සංවිධාන නියෝජනය කරන විශාල ගිහි පැවිදි පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායා - ඒෂාන් දසනායක
ධර්මප්‍රිය ලියනාරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon