විදුලි පුටු භීතිකාව අපි නැති කළත් විපක්‍ෂය සිංගප්පූරු භීතිකාවක් ගෙනැල්ලා

  👤  2559 readers have read this article !
By mawbima 2018-09-13

අතීතයේ ප්‍රධාන වශයෙන් කොටස් හතරක් වශයෙන් සිටි අපේ රටේ ඉන්ජිනේරුවන් වර්තමානය වන විට සෑම ක්‍ෂේත්‍රයකට අදාළ වන සේ ව්‍යාප්ත වී ඇති බවත් රටේ ආර්ථිකය වඩාත් ඵලදායී මඟට ගෙන ඒම සඳහා ඉන්ජිනේරුවන්ට සුවිශේෂී කාර්යභාරයක් පැවැරී ඇති බවත් මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ප්‍රකාශ කරයි.

මේ රටේ ඉන්ජිනේරුවන්ට ලබාදිය හැකි උපරිම දායකත්වය ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමට සහායවීම බව පෙන්වා දෙන අමාත්‍යවරයා අප පසු කරන වර්තමාන ලෝකයේ විශාල වශයෙන් සමාජීය හා ආර්ථිකමය විපර්යාසයන් සිදුවන යුගයක්.බලකොටුවක්ව පැවැති බටහිරට වඩා එහි බලය ආසියානු කලාපය අත්පත් කර ගනිමින් සිටින බවත් සඳහන් කරයි.

මාවතගම ක්‍ෂත්‍රිය විලාහිදී පසුගියදා පැවැති ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනය පස්වැනි වරට සංවිධානය කරනු ලැබූ ජාතික ඉන්ජිනේරු සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් මෙම අදහස් ප්‍රකාශ කළ කබීර් හෂීම් අමාත්‍යවරයා ඉන්ජිනේරුවන් ඇතුළු දේශීය බුද්ධිමතුන්ට මේ රට සංවර්ධනය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවද සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කෙළේය.

ආසියානු කලාපයේ කුඩා රටවල් මේ වන විට දියුණු රටවල් බවට පත්වෙමින් පවතින මොහොතක අපේ රට සිටින ස්ථානය සහ ගමන් කරන දිසාව පිළිබඳව පාලකයන් මෙන්ම ජනතාව අවධානය යොමු කළ යුතුයි. ඉදිරියේදී තම වත්කම් මැනිය හැක්කේ මුදලින් නොව බුද්ධිමය වටිනාකමෙන් බව අප වටහාගත යුතුයි. අතීතයේ සිට අපේ රට විවිධ ගිවිසුම් මඟින් අපේ ආර්ථිකය ශක්තිමත් කළා. ඒ සඳහා ඒ ඒ රටවලට තානාපතිවරුන් පත් කළා. වර්ෂ 1153 සිට 1186 දක්වා යුගයේ මහා පරාක්‍රමබාහු රජතුමා 'අන්තරංගධුරය' නමින් නිදහස් වෙළෙඳ කලාපයක් ඇති කළා.

1977දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා රටේ දැවැන්ත සමාජ හා ආර්ථික පරිවර්තනයක් සිදුකරමින් විප්ලවීය වෙනසක් සිදු කළා. ඔහු දේශීයත්වය රැකගනිමින්, ගෝලීය අභියෝගයන්ද ජයගත්තා. ඒ සඳහා එදා ඔහුට ශක්තිය තිබුණා. ඔහුගේ එම වැඩපිළිවෙළ විරුද්ධවාදීන් දැඩි ලෙස විවේචනයට ලක් කළා. එය දේශපාලන වේදිකාවේ ප්‍රබල මාතෘකාවක් බවට පත් වුණා. ඔහුගේ එම වැඩපිළිවෙළ තවමත් ක්‍රියාත්මකයි. එය අදත් හොඳින් ක්‍රියාත්මක වෙනවා.

එදා ජේ.ආර්. ගේ ව්‍යවස්ථාවට සහ විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව පාරට බැස උද්ඝෝෂණය කළ ප්‍රතිවාදීන්ම අද ව්‍යවස්ථාව වෙනස් නොකරන ලෙස සටන් කරනවා. එදා එම ව්‍යවස්ථාව නිසා ත්‍රස්තවාදය පැවැති මොහොතක රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා ස්වෛරීත්වය රැකගැනීමට ජයවර්ධන ආණ්ඩුවට හැකිවුණා.

විපක්ෂය ආණ්ඩුවේ හැම දෙයකටම ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියමින් ලොකු බිල්ලෙක් මැවීමට උත්සාහ දරනවා. වර්තමාන ආණ්ඩුව ගනු ලැබූ වැදගත් තීරණ හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට තිබූ විදුලි පුටු භීතිකාව විදේශ රටවලින් පනවා තිබූ තහංචි අත්අඩංගුවට ගැනීම් වර්තමාන ආණ්ඩුව බලයට පත්වී මාස 3ක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කිරීමට හැකි වූවා.

ඒ වගේම සිංගප්පූරු ගිවිසුම ගැන දිය කොරහේ කිඹුලන් දුටුවා සේ විපක්ෂය ලොකු බියක් මවාපානවා. මාස 18ක් තිස්සේ සාකච්ඡා කර, සාකච්ඡා වාර 20කට වැඩි ප්‍රමාණයක් සිදුකර, මෙම ගිවිසුමට එළැඹුණා.

මෙම ගිවිසුමේ ඕනෑම කොන්දේසියක් සංශෝධනය කළ හැකියි. දැනුම් දීමකින් පසුව දෙපාර්ශ්වයෙන් ඕනෑම පාර්ශ්වයකට ගිවිසුමෙන් ඉවත් වීමේ හැකියාව තිබෙනවා. රටේ පවතින ආගමන විගමනික නීති රීතිවලට යටත්ව ක්‍රියාත්මක වන මෙම ගිවිසුම හේතුවෙන් දේශීය කර්මාන්තවලට කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. දැනට තිබෙන නීතිය අනුව ඉදිකිරීම් ක්‍ෂේත්‍රය හැර වෙනත් ක්‍ෂේත්‍රවල කටයුතු කිරීමට නම් විදේශ සමාගම් දේශීය සමාගම්වල සම්බන්ධතාව ලබාගත යුතුයි. ඉදිකිරීම් ක්‍ෂේත්‍රය සඳහා ද එම නීති රීති ඉදිරියේදී ගෙන එනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුද දේශීය සමාගම් කිහිපයකට පවරා එම කටයුතු සාර්ථකව කරගෙන යනවා.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon